Gossips

නීතිවිරෝධීව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව නීතිමය පියවර

රැකියා සඳහා ඊශ්‍රායලයට පිටත්ව ගොස් මේ වනවිට වීසා කාලය අවසන් වී නීතිවිරෝධීව එරට රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 104 දෙනෙකු සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබෙනවා.
විදේශ රැකියා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ දැනටමත් ඊට අදාළව 60 දෙනෙකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
තවත් 30 දෙනෙකුට අදාළව, එම පියවර ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද එම අමාත්‍යාංශය සඳහන් කළා.
විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කළේ අධිකරණමය පියවර ගැනීම ආරම්භ කිරීමත් සමග නීති විරෝධීව රැඳී සිටි ශ්‍රමිකයන් 5 ක් යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.
තවදුරටත් නීති විරෝධීව රැඳී සිටින ශ්‍රමිකයන් 9 දෙනෙකුට විරුද්ධව එන්තරවාසි යවා ඇතැයි සඳහන්.
විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර කියාසිටියේ වලංගු වීසා කාලය අවසන් වීමෙන් පසු නීති විරෝධීව රැඳී සිටීමෙන් රටට ලැබෙන රැකියා කෝටාව අහිමිවීමේ අවදානමක් පවතින බවයි.
එමගින් ජාත්‍යන්තරව රටට ඇති කීර්ති නාමයට හානි සිදුවන බව ද ඔහු සඳහන් කළා.
මාස 6 ක සේවා කාලය අවසන් කර නැවත ලංකාවට පැමිණෙන ශ්‍රමිකයන් යළිත් වරක් රැකියා සඳහා ඊශ්‍රායලයට පිටත්ව යාමට අවස්ථාව පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.