Gossips

බස් රථයකට ගසක් කඩා වැටී තරුණයෙක් මරුට

දියතලාව ගල්කන්ද ප්‍රදේශයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා.
අද පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් තවත් අයෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන බස් රථයකට ගස කඩාවැටී ඇති අතර මියගොස් ඇත්තේ 24 හැවිරිදි තරුණයෙක්.
මෙම අනතුර හේතුවෙන් හපුතලේ දියතලාව මාර්ගය ද අවහිර වී තිබෙනවා.
මේ අතර දිවයිනට බලපෑ වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබුනද තද සුළං සහිත තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ මධ්‍යම කදුකරයේ ප්‍රදේශ රැසකට මෙම සුළං තත්ත්වය බලපා ඇති අතර මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ගස් කඩාවැටීම් සහ නිවාසවලට හානි සිදුවීම් වාර්තා වන බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මෙන්ම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඇතැම්විට පැයට කිලෝමීටර් 60 – 70 දක්වා ඉහළ යා හැකි බවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරුමැද පළාත්වල සහ ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල අද දිනයේ ඇති වූ තද සුළං හේතුවෙන් ආපදා තත්ත්වයන් වාර්තා වුණා.
එමෙන්ම ගස් කඩාවැටීමෙන් ප්‍රදේශ රැසක විදුලිය හා දුරකථන සේවාවන්ද බිදවැටී තිබෙනවා.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ දඹුල්ල, නාවුල, තෙල්දෙණිය, කුණ්ඩසාලේ සහ බදුල්ල යන ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන් 14000 කට වැඩි පිරිසකට විදුලිය ඇණහිට ඇතිබවයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, වැලිමඩ, ඌව පරණගම, හල්දුම්මුල්ල සහ හපුතලේ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨශවල නිවාස 70 කට පමණ සුළගින් හානි සිදුව තිබෙනවා.
නිවෙස් මතට ගස් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට බදුල්ල මහරෝහලේ හා වැලිමඩ මූලික රෝහල්වල ප්‍රතිකාර ලබනවා.