ඇඹිලිපිටිය කුඹුගොඩආර ප්රදේශයේ නිවසක 63 හැවිරිදි කාන්තාවක් කිසිදු සොයා බැලීමකින් තොරව කාමරයක දමා ඇති බවට අප වාර්තාකරුවන් පවසනවා.
මෙම කාන්තාවට නිවෙස් හිමියන් කිසිදු සැලකීමක් නොකරන අතර අනාරක්ෂිත කාමරයේ නිරුවතින් ඇය දමා ඇති බවටයි ගම්වාසීන් ප්රකාශකර ඇත්තේ.
ඉතා අපිරිසිදු කැඩී බිඳී ගිය කාමරයක සිටින මෙම කාන්තාව දෙදරු මවක් බවට හෙළිවී තිබෙනවා.
ඇයගේ සැමියා මීට වසර 30 කට පමණ පෙර මියගොස් ඇතැයි සඳහන්.
අනතුරුව ඇයගේ වැඩිමහල් සොයුරා මෙම කාන්තාව තම නිවසට කැඳවාගෙන පැමිණ ඇයගේ දේපළ ද ලබාගෙන නොසලකාහැර ඇති බවට ප්රදේශවාසීන් පෙන්වාදී තිබෙනවා.
මෙම කාන්තාවගේ වැඩිමහල් පුත්රයා විදෙස් රටක සිටින අතර අනෙක් දියණිය වැල්ලවාය ප්රදේශයේ ජීවත්වන බව අප වාර්තාකරු කියාසිටියා.
ඇය ජීවත්වන ස්ථානය කිසිදු අයුරකින් මිනිස් වාසයට සුදුසු ස්ථානයක් නොවන අතර විටින් විට අසල්වැසි කාන්තාවක් එම ස්ථානයට ගොස් ඇයට ආහාර ලබාදෙන බව ගම්වාසීන් සඳහන් කර තිබෙනවා.
ඇය දැක බලා ගැනීමට ඇයගේ අනෙක් සොහොයුරන්ට හෝ නිවෙස් හිමියන් අවස්ථාවක් ලබා නොදෙන බව හෙළිවී තිබෙනවා.
මේ වන විට ඇවිදීමට ද නොහැකි තත්වයක පසුවන ඇයට වැසිකිලි යාමට සහ නිදාගැනීම ද සිදු කරන්නේ එම ස්ථානයේම වීම කණගාටුවට කරුණක්.
ප්රදේශවාසීන් චෝදනා කරන්නේ කිසිදු බලධාරියෙකු මේ පිළිබඳ සොයා බැලීමක් හෝ නොකරන බවටයි.
ඡායාරූප – සූරියවැව නුවන් ජයසේකර