Gossips

සතියක ආපදාවෙන් 24 දෙනෙකු මරුට

සතියකට වැඩි කාලයක් පුරා දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දිස්ත්‍රික්ක 20ක පවුල් 45,680කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ 74,310 දෙනෙකු තවමත් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
අත්තනගලූඔය පිටාර ගැලීම නිසා තවමත් ගම්පහ සහ ජාඇල යන ප්‍රදේශවල පහත්බිම් රැසක් ජලයෙන් වී තිබෙනවා.
මීට අමතරව ජල ගැලීම්වලට හසුවූ පුත්තලම දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක ද ජලය බැස ගොස් නොමැති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර, පුත්තලම – හලාවත – මාදම්පේ – ගල්මුරුව දකුණ ගල්වල ප්‍රදේශයේදී ගං වතුරට හසුවී සිටි පිරිසක් බේරා ගැනීමට ගොස් ජීවිතක්ෂයට පත්වූ ඩිලාන් සම්පත් නැමැති 29 හැවිරිදි පොලිස් සැරයන්වරයාගේ අවසන් කටයුතු ගිරිඋල්ල – මල්ගමුව ප්‍රදේශයේදී අද සිදුකෙරුණා.
ඒ, පොලිස් ආචාර වෙඩි මුර මධ්‍යයේයි.
ඊට පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.
පසුගිය 25 වන දා ගං වතුරට හසුවී සිටි පිරිසක් බේරා ගැනීමට යාමේදී කොස්තාපල්වරයා සැඩ පහරට හසුව අතුරුදන් වූ අතර ඔහුගේ සිරුර සොයා ගනු ලැබුවේ ඊයේ දිනයේදියි.
පසුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඔහුගේ තනතුර පොලිස් සැරයන් නිළය දක්වා උසස් කරනු ලැබුවා.
එමෙන්ම ආපදාවලින් පීඩාවට පත් පුද්ගලයින්ට උපකාර කරන සහන සේවා කණ්ඩායම් වෙත ඇති වන අපහසුතා සම්බන්ධයෙන් සොයා බලන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක, පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
අද පෙරවරුවේ දුරකථන ඇමතුමක් ලබාදෙමින් අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබාදී ඇත්තේ සහන කණ්ඩායම්වලින් ඇතැම් පුද්ගලයින් කප්පම් ලබා ගන්නා බවට වාර්තා වූ සිද්ධීන් පදනම් කර කරමින්.
ඒ අනුව සහන සේවා සැපයීමේදී කිසියම් අවහිරතාවක් පවතී නම්, 119 හෝ 117 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ආපදා සහන සේවා මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වලට ඉදිරි පැය 24 සඳහා නාය යාමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.