Gossips

රන්ජන් ද සිල්වාට වෙඩි තැබීමට තුන්දෙනෙකු පැමිණි බවට අනාවරණ වෙයි

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වාට වෙඩි තැබීම සඳහා පුද්ගලයින් තුන්දෙනෙකු පැමිණ ඇති බවට සිදුකළ මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශණයක් ආරම්භ කර ඇති අතර, පොලිස් කණ්ඩායම් 4ක් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කරන බවයි පොලීසිය කියා සිටියේ.
රත්මලාන ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදී තවත් දෙදෙනෙකු සමඟ කතා කරමින් සිටියදී ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියේ පසුගිය 24 වන දායි. වෙඩි තැබීමෙන් අනතුරුව නාගරික මන්ත්‍රීවරයාගේ පපු ප්‍රදේශයට තියුණු ආයුධයකින් තුන් වරක් පහර දී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇති බව පොලීසිය කියා සිටියා.
එමෙන්ම ඝාතකයන්ගේ ඉලක්කය වී ඇත්තේ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා නොව ඝාතනයට ලක්වූ රංජන් ද සිල්වාම බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
ඝාතනය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් චෝදනා කළේ ප්‍රදේශයේ පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අමල් සිංහාරා හෙවත් කුඩු අංජු නැමැත්තාටයි.
ඝාතනය සඳහා පැමිණි පුද්ගලයින් පිළිබදව සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
ඝාතනයට ලක්වූ රංජන් ද සිල්වාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරු 4ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.