Gossips

තරඟ පාවාදුන්, ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ගැන තොරතුරු

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් අතරතුර ශ්‍රී ලාංකික හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකු මුදලට තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ජසීරා පුවත් සේවයේ නිළ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
හිටපු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ජීවන්ත කුලතුංග සහ දිල්හාර ලොකුහෙට්ටිගේ, රොබින් මොරිස් නම් බුකීකරුවෙකු සමඟ එක්ව මුදලට තරඟ පාවාදීමට සැලසුම් සකස් කළ බවයි එම පුවත් සේවය සදහන් කළේ.
ගාල්ල – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහය කළමනාකරු සහ තණතීරු සකසන්නා ලෙස කටයුතු කරන තරංග ඉන්දික සහ හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ තරිදු මෙන්ඩිස් මුදලට තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ මෙම ප්‍රවෘත්ති සේවය මුල්වරට කරුණු අනාවරණ කළා.
මුදලට තරඟ පාවාදීමේ සංවාදය යන අතුරතුර අල්ජසීරා මාධ්‍යවේදියා එය රහසිගතව පටිගත කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කරන්නේ මුදලට තරග පාවාදීමේ අල් ජසීරා හෙළිදරව්වට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් නීති අංශවලට පැමිණිලි කරන ලෙසයි.
එමෙන්ම මෙම සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයින්ට උපරිම දඬුවම් ලබාදෙන ලෙසත් එම ලිපියෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.
මේ අතර අල් ජසීරා වාර්තාවට ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ මෙම සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවත්වන ඕනෑම පරීක්ෂණයකට උපරිම සහය දක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.