Gossips

ඉලක්කය ධනංජයගේ පියාමයි – සිරුරේ කැපුම් තුවාල තුනක් – ඝාතකයන් සොයා තවදුරටත් මෙහෙයුම්

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වාට වෙඩි තැබීමෙන් අනතුරුව ඔහුගේ පපු ප්‍රදේශයට තියුණු ආයුධයකින් තුන් වරක් පහර දී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබෙනවා.
එමෙන්ම පොලීසිය සඳහන් කළේ ඝාතකයන්ගේ ඉලක්කය වී ඇත්තේ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා නොව ඝාතනයට ලක්වූ රංජන් ද සිල්වාම බවයි.
රත්මලාන ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිට තවත් දෙදෙනෙකු සමඟ කතා කරමින් සිටියදී රංජන් ද සිල්වා නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියේ පසුගිය 24 වන දායි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් චෝදනා කළේ ප්‍රදේශයේ පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අමල් සිංහාරා හෙවත් කුඩු අංජු නැමැත්තාටයි.
ඝාතනය සිදුකළ පුද්ගලයින් පිළිබදව සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ තොරතුරු රැසක් අනාවරණ වී ඇති බැවින් ඔවුන් සොයා විමර්ශන සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කළ ද තවමත් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.
ඝාතනයට ලක්වූ රංජන් ද සිල්වාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට පස්වරු 4ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.