Gossips

ගාල්ලේ තරඟ පාවාදීම් ගැන අයි.සී.සී. පරීක්ෂණයට ශ්‍රී ලංකාවේ සහය

ගාල්ල ක්‍රීඩාංගනයේ සිදුවූවායැයි කියන තරග පාවාදීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදුකරන පරීක්ෂණවලට පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කළේ ඊට අදාළව පුළුල් සම්බන්ධීකරණයකින් කටයුතු කරන බවයි.
එම දූෂණ සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට දැඩි දඩුවම් පමුණුවන බව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.
මේ වසර අවසානයේ යෙදී තිබෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරගය මුදලට පාවාදීමේ සැලැස්මක් හෙළි කර ගැනීමට අල් – ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු සමත්වී ඇති බව ඊයේ වාර්තා වුණා.
ඒ සම්බන්ධයෙන් ඔවුන් සකස් කළ විශේෂ වැඩසටහනක් අද විකාශය කරන බවයි අල් – ජසීරා වෙබ් අඩවිය ප්‍රකාශ කළේ.
එහි සදහන් වන පරිදි වෙස් වලා ගත් මාධ්‍යවේදියා ඉන්දීය බුකී කරුවෙකු සමග පැමිණ ගාල්ලේ ප්‍රමුඛ පෙලේ හෝටලයකදී මෙම මතභේදාත්මක රූගත කිරීම් සිදුකර තිබෙනවා.
ඔවුන් සමග තරග පාවාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත්තේ හිටපු පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තරිදු මෙන්ඩිස් සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සහය කළමනාකරු මෙන්ම තණතීරු සකසන්නා ලෙස කටයුතු කරන තරංග ඉන්දිකයි.
බුකීකරුවන්ට අවශ්‍ය පරිදි ගාලූ තණතීරුව සකස් කළ හැකි බව ඔවුන් පැවසුවේයැයි අල් ජසීරා වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.