Gossips

ආපදා මරණ 21 දක්වා ඉහළට – ගංගා ජල මට්ටම පහත බසී

නිරිත දිග මෝසම හෙට සිට සක්‍රිය වන බව වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.
එහි බලපෑමෙන් ලබන 15 වනදා දක්වා විටින් විට වැසි ලැබිය හැකි බවයි අමාත්‍යවරයා කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
දිස්ත්‍රික්ක 20 කට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මේ වනවිට පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පවුල් 40,017 කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ 53,712 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.
එමෙන්ම, පවුල් 14,337 කට අයත් පුද්ගලයින් 55,553 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 265 ක රදවා තිබෙනවා.
එමෙන්ම ජා-ඇලේ ජල මට්ටම තවදුරටත් ඉහළ ගියහොත් උස්වැටකෙයියාව මෝය කට බිඳ එහි ජලය ගලා යාමට කටයුතු සලස්වන බව ද අමාත්‍යවරයා කියා සිටියා.
ගංගාවල ජල මට්ටම මේ වනවිට අඩුවෙමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා මාලා අලවතුගොඩ කියා සිටියේ කැළණි, කළු, ගිං, නිල්වලා යන ගංගාවල ජල මට්ටම් පහළ බසිමින් පවතින බවයි.
මේ අතර, පුත්තලම දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය පිළිබඳව සොයා බැලීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අද පස්වරුවේ පුත්තලම මහවැව සංචාරයක නිරත වුණා.