Gossips

වලසෙකුට වෙඩි තබා මැරූ 4 කගේ වැඩ තහනම්

ගිරිතලේ වැව් ඉස්මත්තේදී වලසෙකුට වෙඩි තබා මරා දැමීමේ සිද්ධියට අදාළව පශු වෛද්‍යවරියක ඇතුළු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව වනජීවි සංරක්ෂණ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
කෙසේ වෙතත්, මෙම තීරණයට විරෝධය පළ කිරීම සඳහා අවදානම් සහිත රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කළා.
ත්‍රිකුණාමලයේ සිට ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලයට රැගෙනවිත් තිබූ වලසෙකු ප්‍රදේශවාසීන්ට හිරුහැර කරමින් සිටියදී පෙරේදා වනජිවි නිලධාරින් මරා දමා තිබුණා.
මේ අතර, වලසාගේ පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ සුවදුක් විමසීම සඳහා වනජීවි සංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අද පොලොන්නරුව මහ රෝහලට පැමිණියා.
පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා, ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලයට පැමිණ මෙම ගැටලූව පිළිබඳව කරුණු සොයා බැලූවා.
මියගිය වලසාට අමතරව තවත් සත්ව මල සිරුරු රැසක් එහි ශීතකරණයේ දමා තිබූ අතර, මියගිය වලසාව නිරි පරිදි ආරක්ෂා නොකළ බව පවසමින්, නියෝජ්‍ය අමාත්‍යවරයා එහි සිටි වනජීවි නිලධාරීන්ටද දොස් පැවරුවා.
මේ අතර, ගලේවල ප්‍රදේශීය රෝහලේ ඊයේ (25) සිදු කළ හිදිසි අනතුරු පෙර පුහුණුව නිසා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමට සිදු වු අපහසුතාව සම්බන්ධයෙන් තමා කණගාටුවන බව වාරිමාර්ග සහ ජල සම්පත් හා අපදාකළමණාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම එම හදිසි අනතුරු පෙර පුහුණුව සම්බන්ධයෙන් සිදු කළ විවේචනයකට පිලිතුරු ලබා දෙමින්.