Gossips

පූජ්‍ය බෙල්ලන්විල නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

අපවත්වී වදාළ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කුලපති, බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ එම විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතයි.
ඒ හේතුවෙන් දහවල් 12.30 සිට බොරලැස්ගමුව, රත්නපිටිය සහ පැපිලියාන අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.
ආදාහන පූජෝත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ හයිලෙවල් පාරේ විජේරාම මංසන්ධියෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දෙසට වාහන ඇතුලූ කිරීමද සීමා කරන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මේ අතර උන්වහන්සේගේ අපවත්වීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් අපවත්වී වදාළේ උත්තුංග දැක්මෙන් හෙබි බුද්ධපුත්‍රයන් වහන්සේලා අවැසිම සමයක බවයි.
එමෙන්ම පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ හදිසි අපවත්වීම බුදු සසුනට මෙන්ම සමස්ත දේශයට පිරිමැසිය නොහැකි අඩුවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ අපවත්වීම අප රටට පමණක් නොව විදේශ රටවලට මෙන්ම සම්බුදු සසුනට සිදුවූ පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි.