අයහපත් කාලගුණයෙන් ඇති වූ ආපදා නිසා මියගිය සංඛ්‍යාව මේ වනවිට 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම මරණ වලින් වැඩි සංඛ්‍යාවක් දියපහරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ සිද්ධින් බවයි.
තවදුරටත් දිස්ත්‍රික්ක 19 කට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින්ගේ සංඛ්‍යාවද එක්ලක්ෂ 27,913 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අලව්ව – නවතල්වත්ත – කිරිවම්මල ප්‍රදේශයේ පස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙකු අද (25) ජීවිතක්ෂයට පත්වුණා.
පොලීසිය ප්‍රකාශ කළේ පවතින වර්ෂාවත් සමඟ ඇති වූ නායයාම් තත්ත්වයක් හේතුවෙන් පස් කන්ද කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.
පැවති වර්ෂාපතනයත් සමඟ පුත්තලම – තබ්බෝව ජලාශයේ වාන්දොරටු 20 ම අද අලුයම් කාලයේ විවෘත කෙරුණු අතර මේ හේතුවෙන් තත්ත්පරයට ඝණ අඩි 6000 ක පමණ ජල ධාරිතාවක් මීඔයට මුදා හැරෙනවා.
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ තබ්බෝව ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමත් සමඟ තබ්බෝව අංක – 01 තම්බපණ්ණී ගම්මානය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බවයි.
කෙසේ වෙතත්, නාවික හමුදාවේ ද සහය ඇතිව එම ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් 46 කට අයත් පුද්ගලයින් 142 දෙනෙකු මේ වනවිට තබ්බෝව රජමහා විහාරස්ථානයේ සහ තබ්බෝව දේවස්ථානයේ රඳවා සිටින බවයි පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඒ.එම්.ආර්.එන් අලහකෝන් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, මධ්‍යම කඳුකරයට ද ඊයේ (24) රාත්‍රියේ දැඩි වර්ෂාවක් ලැබී තිබෙනවා.
පස් කඳු කඩා වැටීම් නිසා හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන – දීගල ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සීමා වී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
එබැවින් එම මාර්ගය භාවිතා කරන්නන් විකල්ප මාර්ග භාවිතා කළ යුතු බව පොලීසිය ප්‍රකාශ කළා.
එමෙන්ම, අලුත්වැඩියා කටයුතු හේතුවෙන් කැළණි ගඟ හරහා බියගම – කඩුවෙල නගරය යා කෙරෙන ප්‍රධාන පාලම අද (25) පෙරවරුවේ සිට යළි විවෘත කර තිබෙනවා.
කැළණි ගඟේ සහ අත්තනගලු ඔයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ තද වැසි ඇද හැලී ඇති බවට වාර්තා වී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ මාලා අලවතුගොඩ කියා සිටියේ කැළණි ගඟේ ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයේ පවතින බවයි.
එමෙන්ම, කළු ගඟ ආශ්‍රිතව සුුළු ගංවතුර මට්ටමක් පැවතියත් එහි අඩුවීමක් දක්නට ලැබෙන බවයි ඇය කියා සිටියේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ නායයාම් අවදානම් රතු නිවේදන නිකුත් කළ දිස්ත්‍රික්ක සඳහා එය තවදුරටත් වලංගු බවයි.
මේ අතර, අද පස්වරුවේ වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.