Gossips

ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ තනතුරක්

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙසට පත්කර තිබෙනවා.
ඒ අනුව ඔහු මහේල ජයවර්ධන සමග උපදේශණ කටයුතුවල නිරතවනු ඇති.
මෙවර තරගාවලියේ වෙන්දේසියේදී ලසිත් මාලිංග කිසිදු කණ්ඩයාමක් විසින් මිලදී ගෙන තිබුනේ නැහැ.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් බලධාරීන් විසින් ලසිත් මාලිංග මෙම තනතුරට පත්කරගෙන ඇත්තේ අද දිනයේදීයි.
කෙසේවෙතත් මෙම කණ්ඩායමේ නිල පුහුණුකරු ලෙසට ශේන් බොන්ඩ් තවදුරටත් කටයුතු කරනු ඇති.
මාලිංග ද කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ උපදේශකයා ලෙසට සමගාමීව කටයුතු කරන බවයි ඉන්දීය පුවත් සේවා කියාසිටියේ.
ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 110 කට ක්‍රීඩා කර තිබෙනවා.
මෙම පත්වීම පිළිබඳ අදහස් දක්වමින් මාලිංග සඳහන් කර ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග යළි එක්වීමට ලැබීම විශිෂ්ඨ අවස්ථාවක් බවයි.
පසුගිය දශකයක පමණ කාලයක් තුල එම කණ්ඩායම තම නිවස හා සමාන වු බවයි සුපිරි පන්දු යවන්නා ප්‍රකාශකළේ.
ක්‍රීඩකයෙකු ලෙසට කණ්ඩායම නියෝජනය කළ ආකාරයෙන්ම උපදේශකයකු ලෙසට ද කටයුතු කිරීමට ලැබුනු වගකීම උපරිමයෙන් ඉටු කරන බව ඔහු සඳහන් කලා.
මෑත කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායමේ ද ලසිත් මාලිංග නියෝජනය කිරීමක් දක්නට ලැබුනේ නැහැ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ පසුගියදා ප්‍රකාශකර තිබුනේ ඉදිරියේදී පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියට ලසිත් මාලිංග කැඳවීමට අවධානය යොමුවී ඇති බවයි.
ඒ වෙනුවෙන් පළමුපෙල තරගවලට ක්‍රීඩා කරන ලෙසට ඔහුට උපදෙස් දී ඇතැයි හතුරුසිංහ සඳහන් කර තිබෙනවා.