Gossips

කැලණි ගඟේ ජල මට්ටමේ නවතම තත්ත්වය

පවතින අධික වැසි තත්ත්වයත් සමග නව නුවර මාර්ගයේ කඩුවෙල – බියගම යාකෙරෙන ප්‍රධාන පාලමේ ගමනාගමන කටයුතු සීමාකර තිබෙනවා.
ඒ, එම පාලමේ කොටසක් ගිලා බැසීමේ අවදානමකට ලක්වීම හේතුවෙන්.
බියගම – කඩුවෙල නගරය යාකෙරෙන ප්‍රධාන පාලමේ ගමනාගමන කටයුතු සීමා කිරීමට පොලිසිය තීරණය කළේ අද පෙරවරුවේදීයි.
ඒ, එම පාලමේ කඩුවෙල දෙසට වන්නට ඇති කොටසේ සිදුව ඇති ගිලාබැසීමක් හේතුවෙන්.
පවතින අයහපත් කාලගුණයත් සමග ඇතිවූ අධික වැසි හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා කැලණි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගියා.
මේ හේතුවෙන් මෙම පාලම ආශ්‍රිත ඉවුරු ඛාදනට ලක්ව තිබෙනවා.
මේවන විට පාලමේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර, එක් මංතීරුවක පමණක් රථවාහන ගමන් කිරීමට ඉඩ සලසා තිබෙනවා.
අද දහවල් වන විට කඩුවෙල – බියගම – මල්වාන ආශ්‍රිත ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙමින් තිබුණා.
වර්ෂාවත් සමග කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ ගියද ඉන් බරපතළ අවදානම් තත්ත්වයක් මතු නොවන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි සඳහන් කළා.