Gossips

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළට

පවතින අයහපත් කාලගුණ ත්ත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් අද රාත්‍රියේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
දිස්ත්‍රික්ක 14 ක පුද්ගලයින් 84,943 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.
කැළණි, කළු, ගිං, නිල්වලා යන ගංගාවල සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින අතර, ඉදිරි පැය කිහිපයේදී අධික වැසි ඇදහැලුණහොත් යළි ජල මට්ටම් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
දැදුරු ඔයේ වාන්දොරටු 8 ක් තවදුරටත් විවෘත කර ඇති අතර, උඩවලව ජලාශයේ ද වාන්දොරටු 3 ක් අද අලුයම විවෘත කෙරුණා.
මේ අතර, ගංවතුර බැලීම සඳහා ගිය වෙන්නප්පුව – ලුණුවිල – පීරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙකු විනෝද වීම සඳහා ගිං ඔයට පැන ඊයේ අතුරුදන්වී තිබෙනවා.
එමෙන්ම, ගංවතුර පවතින අවස්ථාවේදී පොලීසියේ උපදෙස් නොතකා හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයෙන් ගමන් කිරීමට ගිය පුද්ගලයෙකු ද දියපහර හසුවී ගසාගොස් ඇති අතර පසුව ප්‍රදේශවාසීන් මැදිහත්වී ඔහු බේරා ගැණුනා.
මේ අතර, වර්ෂා තත්ත්වයේ වැඩිවීමත් සමඟ තවත් දිස්ත්‍රික්ක 5 ක් සඳහා නායයාම් අනතුරු ඇගවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, මහනුවර, මාතලේ, බදුල්ල, කුරුණෑගල සහ කොළඹ සඳහා මෙය නිකුත් කර ඇති අතර, එය ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙනු ඇති.
මීට පෙර රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අවදානමක් නිකුත් කර තිබුණා.
එය තවදුරටත් ක්‍රියාත්මකයි.
එමෙන්ම, ගිලා බැසීමේ අවදානමක් නිසා වසා දැමූ බියගම – කඩුවෙල නගරය යා කෙරෙන ප්‍රධාන පාලමේ එක් මංතීරුවක් යළි ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු මෙලෙස එක් මංතීරුවක් විවෘත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.