අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 68,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් පුද්ගල මරණ 09ක් වාර්තා වී ඇති අතර, පුද්ගලයින් 24,000ක් අවතැන් කඳවුරුවල රඳවා සිටින බවයි එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.
එමෙන්ම ආපදාවලින් පීඩාවට පත් දේපළ සඳහා වන්දි ලබාදීම කඩිනමින් ආරම්භ කරන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා.
එහි අධ්යක්ෂ චමින්ද පතිරාජ කොළඹ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ජාතික ස්වභාවික රක්ෂණ වැඩසටහන යටතේ පූර්ණ හානි සහිත නිවසක් සඳහා රුපියල් මිලියන 2.5 ක උපරිම වන්දි මුදලක් ලබාගැනීමට හැකියාව පවතින බවයි.
පසුගිය පැය 18 පුරාවට දැඩි වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් කැළණි, කළු, ගිං සහ අත්තනගලුඔයේ ජල මට්ටම් මේ වන විට අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කැළණි ගඟේ නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම නොවෙනස්ව පවතින අතර හංවැල්ල ප්‍රදේශයෙන් එහි තත්ත්වය අවධානම් මට්ටමක පසුවන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එමෙන්ම කළු ගඟෙන් රත්නපුරය සහ මිල්ලකන්ද යන ප්‍රදේශවල අවධානම් මට්ටමක තිබෙන අතර අගුරුවාතොට ප්‍රදේශයෙන් ජල මට්ටම මේ වන විට ඉහළ යමින් පවතිනවා.
ගිං ගඟේ ජල මට්ටම බද්දේගම ප්‍රදේශයෙන් නොවෙනස්ව පවතින අතර, අත්තනගලුඔයේ ජල මට්ටම මේ වන විට අඩුවෙමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේ වෙතත්, පවතින වර්ෂාපතනයත් සමඟ කළුතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල නාය යාමේ අවධානම තවදුරටත් ක්‍රියාත්මක බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.