Gossips

ඉදිරි දින කිහිපය තුළ තද වැසි – වැඩිම බලපෑම රත්නපුරට

ඉදිරි දින කිහිපය තුළද දිවයිනේ බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ලබන 26 වැනි දින දක්වා මෙම අයහපත් කාලගුණ තත්ත්වය බලපැවැත්විය හැකි බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වෙත නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ දැනට දිවයිනේ නිරිත දිග කොටසේ සහ වයඹ පළාත තුළ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පැවතිය හැකි බවයි.
ඒ අනුව සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
විටින් විට හමන පැයට කිලෝමීටර් 40 – 45 ත් පමණවන තරමක තද සුළංද අදාළ කාලසීමාවේ ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.
මේ අතර අද පෙරවරු 8.30 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුළියාපිටිය ප්‍රදේශයටයි.
එහි අගය මිලිමීටර් 194.8 ක්.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලක්ෂපානට මිලිමීටර් 128.6 ක්, නෝට්න් මිලිමීටර් 124 ක්, කොත්මලේ මිලිමීටර් 123.4 ක් හා කැනියොන් ප්‍රදේශයට මිලිමීටර් 121.1 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ දම්පැලැස්ස පුත්තලම දිස්ත්‍රික්කයේ දුම්මලසූරිය හා නුවරඑළිය කාසල්රී ප්‍රදේශයටද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ලැබී තිබෙනවා.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය දිස්ත්‍රික්ක 12 ක පවුල් දස දහසකට ආසන්න පිරිසකට බලපෑම් එල්ලකර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ පවතින වැසි සහිත කාළගුණ තත්වයත් සමග නායයෑම්, බෑවුම් කඩා වැටිම ගල් පෙරලිම පස් කණ්ඩි කඩා වැටිම දිය ගිලිම ආදි හේතු නිසා මේ වන විට පුද්ගලයින් 09 දෙනෙකු ජිවිතක්ෂට පත්ව ඇති බවයි.
පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 ක පවුල් 9817 ක පුද්ගලයින් 38046 දෙනෙකු බලපෑමට ලක්ව තිබෙනවා.
වැඩිම බලපෑමක් එල්ල වී ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 3287 ක පුද්ගලයින් 13033 දෙනෙකු බලපෑමට ලක්ව තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 1675 ක පුද්ගලයින් 6780ක් බලපෑමට ලක්ව ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 1486 ක පුද්ගලයින් 5852 ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.
මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 1278 ක බලපෑමට ලක්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 4600 කට අධිකයි.
පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ කුරුණැගල දිස්ත්‍රික්කයේ පවුල් 934ක පුද්ගලයින් 3378 දෙනෙකු බලපෑමට ලක්ව ඇති අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 676 ක පුද්ගලයින් 2541 දෙනෙකු බලපෑමට ලක්ව තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1625 ක පුද්ගලයින් 6090 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 80 ක රැදී සිටින බවයි.