Gossips

12.5හේ බස් ගාස්තු සංශෝධනය, අද කැබිනට් මණ්ඩලයට – පොරොන්දු ඉටු නොවූණොත් සංගම් වර්ජනයේ

සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව අද (22) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ බස් සංගම් අතර පසුගිය 16 වන දා පැවති සාකච්ඡාවේදී තීරණය කෙරුණේ සියයට 12.5ක බස් ගාස්තු සංශෝධනයක් ලබාදීමට සහ රුපියල් 10යේ අවම ගාස්තුව රුපියල් 12 දක්වා ඉහළ දැමීමටයි.
මෙම එකඟතාවයත් සමඟ පසුගිය 17 වන දා පෞද්ගලික බස් සංගම් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය ද අත්හිටුවනු ලැබුවා.
කෙසේ වෙතත්, සියයට 12.5යේ බස් ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි නොවුණහොත් හෙට (23) මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත්වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලෙන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන්ද විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ තමන් මෙම වර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළකී සිටින බවයි.
කෙසේ වෙතත්, ඔහු මීට පෙර ප්‍රකාශ කළේ බස් ගාස්තු සංශෝධන ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු සංශෝධනය සිදුකළ හැක්කේ සියයට 9 ක හෝ 10 ක ප්‍රතිශතයකින් පමණක් බවයි.