Gossips

කැළණි, මහවැලි සහ මාඔයේ ජල මට්ටම් පහළට – අදත් පළාත් කිහිපයකට වැසි

ඉදිරි දිනවලදීත් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ අහස වළාකුලෙන් බර ස්වභාවය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර, කැළණි, මහවැලි යන ගංඟාවල සහ මාඔයේ ජල මට්ටම් මේ වන විට පහළ බසිමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊයේ රාත්‍රියේ කැළණි ගඟ පිටාර ගැලීමත් සමඟ ගඟ දෙපස සිටි ජනතාවට එම ස්ථානවලින් ඉවත් වන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දීමක් සිදුකළා.
මීට අමතරව මහවැලි ගඟ පේරාදෙණිය ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ තිබුණා.
මාඔය, ගිරිඋල්ල ප්‍රදේශයෙන් පිටාර ගලමින් තිබූ බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කළු, ගිං සහ අත්තනගලුඔයේ ද ජල මට්ටම් මේ වන විට පහළ බසිමින් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
මීට අමතරව පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7 තවමත් විවෘතව පවතින බවයි මහවැලි අධිකාරිය සඳහන් කළේ.
මේ අතර පවතින වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක 11 කට නිකුත් කෙරුනු නායයෑමේ අවදානමද තවදුරටත් ක්‍රියාත්මකයි.
ඒ අනුව රත්නපුර, කෑගල්ල, කළුතර, නුවරඑළිය, මහනුවර, බදුල්ල, මාතලේ, ගාල්ල, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට මෙම නායයෑමේ අවදානම බලපැවැත්වෙනු ඇති.
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4 කට සහ කළුතර දිස්ත්‍රික්කයේ එක් කොට්ඨාශයකට මේ වනවිට නායයෑමේ රතු නිවේදනද නිකුත් කර තිබෙනවා.
එමෙන්ම එම දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, කිරිඇල්ල සහ ඇලපාත යන ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ විදුලිය විසන්ධි කිරීමක්ද සිදුකළේ ජල ගැලීම් හේතුවෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහායි.
කෙසේ වෙතත්, මේ වන විට ප්‍රදේශයේ ජලය බැස යමින් පවතින බවයි රත්නපුර හිරු වාර්තාකරු ධනේෂ් පෙරේරා සදහන් කළේ.
අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන ජලාශයේ විවෘත කෙරුණු වාන් දොරටු මේ වන විට වසා දමා ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු රංජිත් රාජපක්ෂ සදහන් කළේ.
පස් කඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වූ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය යළි ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.
මීට අමතරව මාතර – අකුරැස්ස, ගාල්ල, කළුතර සහ ගම්පහ යන ප්‍රදේශවලද ඊයේ ඇතිවූ වර්ෂාපතනයත් සමඟ මාර්ග අවහිරතා ඇති වුණා.
එමෙන්ම හලාවත – කොළඹ මාර්ගය, මාදම්පේ සහ මහවැව යන ප්‍රදේශවලින් තවමත් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
රතඹලාඔය පිටාර ගැලීම නිසා ආනමඩුව – හලාවත මාර්ගයේ ඇතැම් ස්ථාන ද මේ වන විට ජලයෙන් යටව පවතිනවා.