Gossips

විපතට පත් ජනතාවට කඩිනමින් සහන සළසන්නැයි ජනපතිගෙන් උපදෙස්

අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනමින් සහන සැළසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව මූල්‍ය ප්‍රතිපාදන ගැටළුවක් කර නොගන්නා ලෙසත්, රජයෙන් ලබාදිය යුතු සියලූ සහන කඩිනමින් ලබාදෙන ලෙසටයි ජනාධිපතිවරයා සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
මේ අතර දැනට පවතින වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 කට බලපෑම් එල්ලවී තිබෙනවා.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර සහ යන දිස්ත්‍රික්කවලට එමඟින් දැඩි බලපෑම් එල්ලවී ඇති බවටයි වාර්තාවන්නේ.
පවුල් 3438 කට අයත්, පුද්ගලයින් 13,314 ක් මේ වනවිට අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාවද 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වර්ෂාව පවතින අවස්ථාවේදී මසුන් ඇල්ලීමට ගොස් ගිං ගඟේ දිය පහරට හසුව අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද දහවල් සොයාගැනුනේ නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදියි.
පසුගිය දින දෙක තුළ අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකුත්, පස් කඳු සහ ගස් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකුත් මියගොස් තිබුණා.
ඕනෑම අවස්ථාවක විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා යුද, ගුවන් සහ නාවික හමුදා සූදානමින් සිටින බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩිර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේ.