Gossips

අපදා මරණ 06 දක්වා ඉහළට (ඡායරූප)

බෙංගාලබොක්කේ පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වී තවදුරටත් දිවයිනට ආසන්න වුවහොත් අයහපත් කාලගුණයේ බලපෑම් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් ඉදිරි පැය 24 තුළ ද බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
අද පෙරවරු 8යි 30න් අවසන් වූ ගත වූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය පුත්තලම – ආනමඩුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 353.8ක්. මීට අමතරව මිලිමීටර් 339ක වර්ෂාපතනය පුත්තලම – ආඬිගම ප්‍රදේශයටත් මිලිමීටර් 316ක වර්ෂාපතනයක් තමන්කඩුව ප්‍රදේශයටත් මිලිමීටර් 267.5ක වර්ෂාපතනයක් මාතලේ ප්‍රදේශයටත් ලැබී තිබෙනවා. කුකුළේගඟ ප්‍රදේශයට ලැබී වර්ෂාපතනය මිලිමිටර් 227ක්.
එමෙන්ම දිස්ත්‍රික්ක 5කට පනවා තිබූ නාය යාම් අනතුරු ඇගවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.
ඒ අනුව ගාල්ල, කළුතර, රත්නපුර, නුවරඑළිය, සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 24 තුළ ද නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදනය ක්‍රියාත්මකයි.
කළුතර, පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට නාය යාමේ විශේෂ රතු නිවේදනයක් නිකුත් කර ඇති අතර, ඒ අනුව ජනතාව අවධානම් සහිත ස්ථානවලින් ඉවත් කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.
මේ අතර, අධික වැසි හේතුවෙන් ප්‍රධාන ගංගා සියල්ලම පිටාර මට්ටමකට පැමිණ තිබෙනවා. කැළණි ගෙඟ්, හංවැල්ල සහ කිතුල්ගල ජල මාපක අවදානම් මට්ටමේ පවතින අතර කළු ගෙඟ් මිල්ලකන්ද ජල මාපකයේ ද පවතින්නේ අවධානම් මට්ටමේයි.
නිල්වලා ගෙඟ් පිටබැද්දර සහ අකුරැස්ස ජල මාපක ද අවධානම් මට්ටමකට ළඟා වී තිබෙනවා. ගිං ගෙඟ් ජග මට්ටම ද තවලම සහ බද්දේගම ජල මාපකවල සටහන් වී ඇත්තේ අවධානම් මට්ටමක් ලෙසයි.
වැසි හේතුවෙන් කුකුළේ ගග ජලාශයේ වාන්දොරටු 3 ක් මේ වන විට විවෘත කර තිබෙනවා.
ඒ හේතුවෙන් කළුතර, බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ කිහිපයක පහත්බිම් ජලයෙන් යට වී ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලූතිනන් කර්නල් ප්‍රසාද් ජයසිංහ කියා සිටියේ.
මාතර දිස්ත්‍රික්කයට ද වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. නිල්වලා සහ ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් අකුරැස්ස සහ මාකඳුර ආදී ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යට වී ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලූතිනන් කර්නල් ප්‍රියංකර පියසේන සඳහන් කළේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ ද පහත්බිම් කිහිපයක් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
රත්නපුර දිස්ත්‍රික්කයට ද වර්ෂාවෙන් බලපෑම් එල්ල වී ඇති අතර, පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු අජිත් ලාල් ශාන්ත උදය ප්‍රකාශ කළේ.
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාපතනයත් සමඟ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 4ක් තවමත් විවෘතව පවතිනවා.
මේ අතර, අයහපත් කාලගුණයෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බුලත්කොහුපිටිය – උඳුගොඩ ප්‍රදේශයේදී නිවසක් මතට පස් කන්දක් කඩා වැටී ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ. මේ අතර, අකුණු අනතුරු හේතුවෙන් සිල් මාතාවක් ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එමෙන්ම මොණරාගල – බඩල්කුඹුර ප්‍රදේශයේදී ගසක අත්තක් කඩා වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය සෙනසුරාදායි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ වර්ෂාවත් සමඟ අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙසටයි.
ගං වතුර තත්ත්වයන් අනවශ්‍ය ලෙස නැරඹීමට යාමෙන් වළකින ලෙස ද එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියා.
අධික වැසි හේතුවෙන් රත්නපුර, කළුතර, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල මාර්ග සහ අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා.
එමෙන්ම එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුමට ද බාධා එල්ල වී ඇති බවයි විදුලිබල මණ්ඩලය කියා සිටියේ.
මේ අතර, අයහපත් කාලගුණය පවතින ප්‍රදේශවල පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන්න තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.
සබරගමු පළාතේ රත්නපුර, නිවිතිගල සහ දෙහි ඕවිට අධ්‍යාපන කලාපවල සියළුම පාසල්වලට අද සහ හෙට යන දෙදින නිවාඩු ලබාදී තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය සඳහන් කළේ.
මීට අමතරව මාතර – අකුරැස්ස, පානදුගම සහ අතුරලිය යන ප්‍රදේශවල ද පාසල් කිහිපයක් අද වසා දැමුණේ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන්.
මේ අතර නිල්වලා,ගිං, කළු, කැළණි හා අත්තනගලු ඔය සහ මා ඔය අවට පහල කොටසේ ජනතාවට ගංවතුර ගැන අවදානයෙන් සිටින ලෙස අවධානයෙන් කටයුතු කරන ලෙස අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම් දෙනවා.