Gossips

පාලින්ද නුවරට රතු නිවේදනයක් – මාතර පීඩාවට පත්වූ ජනතාව මුදා ගැනීමට යුද හමුදා කණ්ඩායම්

කළුතර, පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට මේ වන විට නාය යාමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලූතිනන් කර්නල් ප්‍රසාද් ජයසිංහ කියා සිටියේ රතු නිවේදනයත් සමඟ ජනතාව අවධානම් සහිත ස්ථානවලින් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.
මේ අතර, මාතර දිස්ත්‍රික්කයේ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා යුද හමුදා කණ්ඩායම් කිහිපයක් ද මේ වන විට ස්ථානගත කර ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලූතිනන් කර්නල් ප්‍රියංකර පියසේන සඳහන් කළේ.
දිවයිනට බස්නාහිර සහ දකුණු දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එමෙන්ම මෙම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා මෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකි බවත් මේ නිසා මුහුද රළු විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.