Gossips

දියබෙදුම – පැරකුම්ගම රණවිරු ගම්මානය අවධානම්

9 වන රණවිරු සැමරුම විවිධ ආකාරයෙන් සැමරීමට පසුගිය දා බොහෝ දෙනෙකු කටයුතු කළා.
එවන් පසුබිමක සමාජයේ ඇස නොගැටුණු රණවිරු ගම්මානයක් පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා.
නිදහස් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට කැප වූ රණවිරුවන් පිළිබද කතාබහ දේශපාලන වේදිකාවේ තරඟකාරී මාතෘකාවක් වී ඇති යුගයක ගිරිතලේ – දියබෙදුම – පැරකුම්ගම රණවිරු ගම්මානයට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් අප සොයාබැලීමක් සිදුකළා.
දිවි පිදූ හා ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව, මෙම ගම්මානය 2003 වසරේදී ඉදි කර තිබූ අතර, එය නිවාස 23කින් සමන්විතයි.
යුද්ධය පැවති සමයේ සේවයේ නියුතු රණවිරුවන් සඳහා එක් අයෙකුට පර්චස් 20 බැගින් මෙම ගම්මානයෙන් ඉඩම් කොටස් 300ක් පමණ ලබාදීමට සැලසුම් කර තිබුණ ද අද වන විට එම භූමිය මනුෂ්‍ය වාසයෙන් තොර ඝන කැළෑවක් බවට පත්ව තිබෙනවා.
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයටම රණවිරු ගම්මානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති යුගයක ඉදිකර ඇති රණවිරු ගම්මානයක් මෙලෙස ඝන කැළෑවකින් වැසී යන තුරු බලධාරීන්ගේ අවධානයට ලක් නොවීම කණගාටුවට කරුණක්.