Gossips

දිස්ත්‍රික්ක 08කට නාය යාම් අවදානමක් – ප්‍රදේශ කිහිපයක විදුලියත් බිඳ වැටේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක් සඳහා නාය යාමේ අවධානමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කළුතර, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, කුරුණෑගල සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට එම නාය යාමේ අවදානම් නිකුත් කළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම, අම්බලන්ගොඩ ප්‍රදේශයේදී නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසට හානි සිදුව තිබෙනවා.
පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ නිවසේ තිදෙනෙකු සිට ඇති අතර ඔවුන් දිවි ගලවාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර, පොල්පිටිය සිට අතුරුගිරිය දක්වා වූ සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් තුල්හිරිය, රඹුක්කන, කෑගල්ල ප්‍රදේශවලට මේ වන විට විදුලිය විසන්ධි වී තිබෙනවා.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ පවතින අධික වැසි සමඟ අතු කඩා වැටීම හේතුවෙන් කුරුණෑගල, මතුගම, හොරණ සහ අගලවත්ත ප්‍රදේශවල ද විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති බවයි.