Gossips

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි

පවතින ගිගුරුම් සහිත වැසි තත්වය ඉදිරි පැය කිහිපය තුල තවදුරටත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රිත්වල මිලිමීටර් 100 ට වඩා තද වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකියි.
එමෙන්ම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
නිරතදිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බැවින් අද දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙනවා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයේ වැඩිවීමක් සහ දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණික තත්වයේ වැඩිවීමක් අද දිනයේ බලාපොරොත්තුවන බවයි.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ක් පමණ දක්වා වැඩිවීමේ හැකියාවක් ද පවතිනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 70 – 80 පමණ දක්වා ඉතා තද සුළං ඇතිවිය හැකි අතර මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දෙන්නේ.