Gossips

දකුණේ පැතිරෙන උණ රෝගයෙන් 13 දෙනෙකු මිය යයි

දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරස් රෝගයෙන් දරුවන් 11 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්ෆ්ලූවෙන්සා වෛරස් තත්ත්වයත් සමඟ ඇඩිනෝ වෛරසය හා නියුමෝකොකල් බැක්ටීරියා ආසාදනය වීමෙන් මෙම උණ රෝගය පැතිර යන බවයි දකුණු පළාත් සෞඛ්‍ය අංශ පවසන්නේ.
රෝගය ආසාදනය වීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ දරුවන් 5 දෙනෙකු මිය ගිය අතර ඉන් තිදෙනෙකු මිය ගියේ ඉන්ෆ්ලූවෙන්සා වෛරසය හේතුවෙන් හට ගත් රෝගී තත්ත්වයෙන්.
එමෙන්ම අනෙක් දරුවන් දෙදෙනා ඇඩිනෝ වෛරසය හා නියුමෝකොකල් බැක්ටීරියා ආසාදනය වීමෙන් මිය ගිය බවයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ වන විට මෙම රෝග කාරක වැළදුණු 84 දෙනෙකුගේ රුධිර සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවා ඇති අතර, ඉන් 27 දෙනෙකු ස්ථීර වශයෙන් ඉන්ෆ්ලූවෙන්සා වෛරස් තත්ත්වයත් සමඟ ඇඩිනෝ වෛරසය හා නියුමෝකොකල් බැක්ටීරියා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
මෙම රෝග කාරකයට කුඩා දරුවන්, ගර්භනී මව්වරුන් මෙන්ම හෘද රෝගීන් වැඩි වශයෙන් ගොදුරු විය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ඩී. විජේසූරිය පැවසුවේ උණ රෝගය දිනක් හෝ පැවතුණහොත් ඊට වහා වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු බවයි. උණ රෝගය වැළදුණු කුඩා දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස ද ඔහු ඉල්ලීමක් කළා.