Gossips

රට පුරා රණවිරු සැමරුම්

යුද ජයග්‍රහණයේ 9 වන වසර සැමරීම සඳහා අද දිවයින පුරා රණවිරු සැමරුම් උත්සව පැවැත්වුණා.
මෙරට ප්‍රථම පාසල් රණවිරු කෞතුකාගාරය අද මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේදී විවෘත කෙරුණු අතර, එහිදී දිවි පිදූ රණවිරුවන් උදෙසා පුෂ්පෝපහාර දැක්වීමක් ද සිදුකෙරුණා.
එක් ගම්මානයකින් වැඩිම රණවිරුවන් සංඛ්‍යාවක් ත්‍රිවිධ හමුදාවට බැදුණු ගල්ගමුව – ගිරිබාව සංගප්පාලි ගම්මානයේදී ද රණවිරු සැමරුමක් අද සංවිධාන කර තිබුණේ ගෝලීය ශ්‍රී ලංකා සංසදය සහ ජාතික හිමිකම් සංවිධානය විසින්.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී සැමරුම් උත්සවයක් පැවැත්වුණේ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරාගේ ප්‍රධානත්වයෙන්.
විවිධ දේශපාලන පක්ෂ ද රණවිරු සැමරුම් සංවිධාන කර තිබූ අතර ජාතික හෙළ උරුමය අත්තිඩිය – මිහිදු සෙත් මැදුර ආබාධිත රණවිරු නිවාසයේදී සිය රණවිරු සැමරුම පවත්වනු ලැබුවා.
ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ රණවිරු සැමරුම පැවැත්වුණේ පානදුර – මාලමුල්ලි රණවිරු ස්මාරකය අභියසදියි.
මහියංගනය – හසලක ගාමිණි කුලරත්න රණවිරු පිළිරුව අසළ දී ද තවත් රණවිරු සැමරුමක් පැවැත්වුණා.
සන්නද්ධ සේවා විශ්‍රාමික නිලධාරීන්ගේ එකමුතු සුබසාධන සංගමය සංවිධාන කළ සැමරුම් උත්සවය අද දැරණියගල දී පැවැත්වුණේ රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපතිවරයා විසින් පසුගිය දා විවෘත කළ කුරුණෑගල – වයඹ රණ අභිමන් රණවිරු ස්මාරකය අභියස දී ද තවත් සැමරුම් උත්සවයක් පැවැත්වුණා.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී සුරකිමු ශ්‍රී ලංකා එකමුතුව තවත් රණවිරු සැමරුම් උත්සවයක් සංවිධාන කර තිබුණා.