Gossips

වැස්ස තවත් වැඩිවන ලකුණු

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි සතියේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම අද (18) දිනයේත් මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, අම්පාර, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි තත්ත්වයක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උතුරු හා දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන අඩුපීඩන කලාපයක් හෙවත් අන්තර් නිවර්තන අභිසාරී කලාපයක් ශ්‍රී ලංකාව ආශ්‍රිතව නිර්මාණය වී තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ ආශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි සහිත කාලගුණ තත්ත්වයක් දිවයින පුරා ස්ථාපිත වී ඇති බවයි.
අද පෙරවරු 8 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ කොළඹ – කොටුව ප්‍රදේශයෙන්.
ඒ මිලිමීටර් 108 යි දශම 3 ක් ලෙසින්. නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමඟ දිස්ත්‍රික්ක 10 ක නායයාමේ අවදානම් තත්ත්වයක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඊයේ සඳහන් කළා.
එමෙන්ම, දිස්ත්‍රික්ක 10 තුළ පවුල් 15,000 කට වැඩි ප්‍රමාණයක් අවදානම් සහිත කලාප වල ජීවත් වන බවයි එම ආයතනය සඳහන් කළේ.
අධික වැසි හේතුවෙන් විවෘත කර තිබූ උඩවලව ජලාශයේ වාන්දොරටු මේ වනවිට වසා දමා ඇති අතර, දැදුරු ඔයේ වාන්දොරටු තවමත් විවෘතව පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම, පවතින වැසි තත්ත්වය ඉදිරියේදී වැඩි වන්නේ නම් මල්වතු ඔය, කලාඔය සහ අත්තනගලූ ඔය ඇතුලූ අනෙකුත් ගංගාවල ජල මට්ටම පිළිබඳව සැලකිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ අවධාරණය කළා.