Gossips

විජේදාස විජිතපුර යයි

විනාශයට ලක්වූූ එළාර රජුගේ විජිතපුර පරිවාර බලකොටුව ලෙස සැළකෙන පුරාවිද්‍යා භූමිය නිරීක්ෂණය කිරීම සඳහා උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (18) එම ස්ථානයට පැමිණියා.
එහිදී එම පුරාවිද්‍යා ස්ථානය විනාශ කර ඇති බැවින් ඊට සම්බන්ධ නිලධාරින්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන බවයි විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ඉදිරියේදී හඳුන්වාදෙන බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජේදාස රාජපක්ෂ එහිදී සඳහන් කළා.
නිවාස සංවර්ධන අධිකාරිය යටතේ නව ගම්මානයක් ඉදිකරන බව පවසමින් අනුරාධපුර – ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පූගොල්ලාගම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ස්ථානයක් මෙලෙස හානිකර තිබුණේ බර යන්ත්‍රෝපකරණ යොදා ගනිමින්.
ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ චෝදනා එල්ල කිරීමත් සමඟ එහි වගකීම නිවාස සංවර්ධන අධිකාරිය විසින් භාර ගනු ලැබුවා.
ඒ අනුව, එහි අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකාරිණිය සහ තවත් නිලධාරියෙකුගේ වැඩ තහනම් කෙරුණා.