Gossips

පාසල්වල කොඩි, හෙට අඩකුඹු කරන්නැයි උතුරේ අධ්‍යාපන ඇමතිගෙන් උපදෙස්

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම සදහා හෙට දිනයේදී උතුරු පළාතේ සියලූම පාසල්වල පළාත් කොඩිය අඩකුඹු කරන ලෙසට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් දැනුම් දී තිබෙනවා.
විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට තමන් මෙම දැනුම්දීම සිදුකළ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන්ගෙන් විමසීමක් කළා.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙම ක්‍රියා කලාපය තමන් හෙළා දකින බවයි.
එවැනි කටයුත්තක් කිරීමට ඔහුට නීත්‍යානුකූල අයිතියක් නොමැති බව ද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කළා.
මේ අතර, යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම සදහා වෙල්ලමුල්ලි වයික්කාල් හි පවත්වන සැමරුම් උත්සවයේ සංවිධාන කටයුතු නිරීක්ෂණය කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ද ඊයේ එහි ගොස් තිබෙනවා.
මේ අතර, පටු අරමුණු සහ පුද්ගලික න්‍යාය පත්‍රයන් සදහා ශ්‍රේෂ්ඨ රණවිරුවන් භාවිත නොකළ යුතු බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක ප්‍රකාශ කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කරන්නේ ආවේගශීලි සහ සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් තොරව රණවිරුවන්ට කෘත ගුණ සැලකිය යුතු බවයි.
සියලූ ලක්වාසීන් වර්තමානයේ භුක්ති විඳින නිදහස වෙනුවෙන් යුද හමුදාවේ 23,962 ක්, නාවික හමුදාවේ 1160ක්, ගුවන් හමුදාවේ 443 ක්, පොලීසියේ 2568 ක් සහ සිවිල් ආරක්ෂක බලකායේ 456 ක් වශයෙන් විරුවන් ජීවිත පූජා කර ඇති බව ද යුද හමුදාපතිවරයා සිහිපත් කරනවා.
දිනාගත් නිදහස යළි යුද්ධයක් ඇතිවීමට ඉඩ නොදී බුද්ධිමත්ව කටයුතු කර රැක ගැනීමේ වැදගත්කමද ඔහු එමගින් අවධාරණය කළා.