Gossips

ඉන්ධන මිලට එරෙහිව අදත් විරෝධතා

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවීන් සහ ධීවරයින් විරෝධතා සංවිධාන කර තිබුණා.
ධීවරයින් පිරිසක් කොළඹ – කතරගම මාර්ගය කුඩාවැල්ල මංසන්ධියෙන් අවහිර කරමින් අද විරෝධතාවක නිරත වූ අතර, එහිදී ඔවුන් කියා සිටියේ පෙර පැවති මිලටම ධීවරයින්ට ඉන්ධන ලබාදීමට රජය පියවර ගත යුතු බවයි.
අනතුරුව තංගල්ල පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ මාර්ගයෙන් ඉවත්ව ලෙසට දැනුම් දුන් අතර, පැය භාගයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වීමෙන් අනතුරුව ඔවුන් විසිර ගියා.
මේ අතර, භූමිතෙල් සහනාධාරය ලබාදෙන තුරු විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට දිගම්පතහා දේශීය ලොකු ළුෑණු බීජ නිෂ්පාදකයින්ගේ සංගමය සූදානම් වනවා.
එහි සභාපති අයි.ජී.සෙනෙවිරත්න කියා සිටියේ බීජ වගා කිරීම සඳහා ජලය ලබාගන්නා පොම්ප භූමිතෙල් යොදා ක්‍රියාත්මක කරන බැවින් මේ වනවිට තම නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර, සේවා ව්‍යවස්ථාව සම්පාදනය කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 03 ක් මුල්කරගනිමින් ආගමන විගමන නිලධාරීන් අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.
ඔවුන් අද දහවල් කළු පටි පැළඳ නිහඬ විරෝධතා ව්‍යාපාරයකද නිරත වුණේ කටුනායක ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තය ඉදිරිපිටදීයි.
අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ගුවන් ගමන්වල ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කේ.කේ.ජී.ජේ.බණ්ඩාර කියා සිටියේ.
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් නියමිත වේලාවට පැය 3 කට පෙර ගුවන් තොටුපලට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා.