Gossips

රජයේ 6.56% ක බස් ගාස්තු වැඩිවීම එපා – පෞද්ගලික බස් හෙට මැදියම් රැයේ සිට අඛන්ඩ වර්ජනයක

ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව ඉල්ලූම් කළ බස් ගාස්තු සංශෝධනය නොලැබීම හේතුවෙන්, හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් සංගම් ප්‍රකාශ කළා.
ඒ, පෞද්ගලික හා ශ්‍රී ලංගම බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 6.56කින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදීමෙන් අනතුරුවයි.
බස් ගාස්තු සංශෝධනය සදහා වන කමිටුව ඊයේ රැස්වී දීර්ඝ වශයෙන් සාකච්ජා කිරිමෙන් පසු බස් ගාස්තු සංශෝධනයට අදාල නිර්නායක 12ක් සැලකිල්ලට ගනිමින් වර්තමාන බස් ගාස්තුව සියයට 6.56 කින් ඉහල දැමිය යුතු බවට නිර්දේශ කර තිබුණා.
රුපියල් දහයේ අවම බස් ගාස්තුව වෙනස් නොකිරීමටද තීරණය කර ඇති අතර, අදාළ තීන්දු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.
කෙසේ වෙතත් කැබිනට් අනුමැතිය හිමිවූ බස් ගාස්තු සංශෝධනය සාධාරණ නොවන බවයි පෞද්ගලික බස් සංගම් චෝදනා කරන්නේ.
ඔවුන් සියයට 15ත්, 20ත් අතර බස් ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටි අතර ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත අඛන්ඩ බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගම් ප්‍රකාශ කළා.
ඒ අනුව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය මෙලෙස වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.