Gossips

ලබන 20 වනදා දක්වා ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි

ලබන 20 වනදා දක්වා දිවයින තුළ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
දිවයින ආශ්‍රිත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත් දැනට පවතින වැසි තත්වය වැඩිවනු ඇතැයි බලාපොරොත්තුවනවා.
විශේෂයෙන් පුත්තලම සිට කොළඹ ගාල්ල සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු සහ පැයට කිලෝමීටර් 70 ක 80 ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇතිවීමේ හැකියාව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ.
කඳු සහ ගංගා නිම්න ආශ්‍රිතව ජීවත්වන ජනතාව වැඩිවන වැසි තත්වය හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදී සිටින ප්‍රජාව ඇතිවිය හැකි වැසි සහ අකුණු අනතුරු පිළිබඳව සහ තාවකාලිකව ඇතිවන සුළග හේතුවෙන් සිදුවන මුහුදු රළුවීම් පිළිබඳව ද කටයුතු කරන ලෙසටයි දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
එමෙන්ම අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට ජනතාවට දැනුම් දෙනවා.
ඒ අනුව අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල රැඳී සිටිය යුතුයි.
කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වලකින ලෙසට ද උපදෙස් ලබාදී තිබෙනවා.
රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින ලෙසටයි දැනුම් දෙන්නේ.
බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් ද වැලකිය යුතු අතර තද සුළං හේතුවෙන් ගස් සහ විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි.
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසටයි.