Gossips

චෝදනා පත්‍රයේ නොමැති කරුණුවලට දුමින්ද වරදකරුවෙක් කරලා

 දෙපාර්ශවය හමුවුණේ අහම්බෙන්..
 පළමුව වෙඩි වැදුනේ දුමින්දට..
 සාක්ෂි ගණනාවක් තීන්දුවේදී නොසලකා හැරලා….
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පළමුව වෙඩි වැදුණු බවට සාක්ෂි ගණනාවක් තිබුණද ඒවා නොසලකා නීත්‍යනුකූල නොවන නඩු තීන්දුවක් ලබාදී ඇති බව ජනාධිපති නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තහවුරු කළා.
ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මේ සම්බන්ධයෙන් ගොනු කළ අභියාචනය යළි කැඳවූ අවස්ථාවේදී.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් ගොනුකළ අභියාචනය අද විභාගයට ගැනුණේ 5 වැනි දිනටයි.
ඒ, අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.
මහාධිකරණ නඩු විභාගයේ සාක්ෂි ගණනාවකින් දුමින්ද සිල්වා මහතාට පළමුව වෙඩි වැදුණු බව තහවුරු කළද එය අදාළ නොවන බවට තීන්දුවෙන් ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙහිදී ප්‍රශ්න කළා.
එහිදී ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේ දුමින්ද සිල්වා මහතාගේ හිස ඉදිරිපසට වෙඩි වැදුණු බවට අධිකරණ වෛද්‍ය වාර්තාව මගින්ද සනාථ කර ඇති බවයි.
මෙහිදී ජනාධිපති නීතිඥවරයා 12 වන විත්තිකරු විත්තිකූඩුවේ සිට මහාධිකරණයේදී කළ ප්‍රකාශයක් උපුටා දැක්වුවා.
වෙඩි තැබූ බවට පිළිගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට ප්‍රකාශ කළද එය සිදුනොකළ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව 12 වන විත්තිකරු ලෙස නම්කර චෝදනා ගොනුකළ බව එහි සදහන්.
ජනාධිපති නීතිඥවරයා සදහන් කළේ එම ප්‍රකාශය විශ්වාසනීයත්වයෙන් යුත් ප්‍රකාශයක් බවට නඩු තීන්දුවේම පිළිගෙන තිබුණද, නඩු විභාගයකදී ඉතාමත් වැදගත් ලෙස සලකන විත්තිකූඩුවේ සිට ලබා දුන් එම විශේෂ ප්‍රකාශය නිසි ලෙස විශ්ලේෂණය කිරීමට තීන්දුවේදී කටයුතු කර නොමැති බවයි.
චෝදනා පත්‍රයේ නොමැති කරුණු සඳහා දුමින්ද සිල්වා මහතා වරදකරුවෙකු කිරීමට කටයුතු කර ඇති බව පෙන්වාදුන් ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේ එය කිසිසේත්ම නීත්‍යනුකූල නොවන බවයි.
සිද්ධියේදී දෙපාර්ශ්වය අහම්බයෙන් හමුවීම තුළ කිසිදු පොදු අරමුණක් නොතිබූ බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙහිදී ඔප්පු කළා.
ඊට අමතරව ජනාධිපති නීතීඥවරුන් නඩු තීන්දුවේ ඇති තවත් අඩුපාඩු රැසක් නැවතත් අද පෙන්වා දුන්නා.
 කිසිදු සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි සියයට සීයක් පිළිගත නොහැකි බව නඩු තීන්දුවේම පිළිගෙන තිබීම

 ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු නඩු තීන්දුවක් සකස් නොකිරීම නිසා මහාධිකරණය ලබාදුන් තීන්දුව නීත්‍යනුකූල නොවීම

 සාක්ෂි හෝ කරුණු මත නොව, දුමින්ද සිල්වා මහතා ජනප්‍රිය දේශපාලන චරිතයක්වීම සහ අනුමාන හෝ උපකල්පන මත පදනම් වී තීන්දුව ලබාදීම

 දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම සඳහා ගෙතූ බොරු සාක්ෂිවල ලුහුඬුතා හා පරස්පරතා සැලකිල්ලට නොගැනීම පිළිබඳව නඩු තීන්දුවේදී හේතු දැක්වීමක් සිදු නොකිරීම

 ඉදිරිපත් වූ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන්නේදැයි සොයා බැලීමකින් තොරව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වෙමින් තීන්දුව ලබාදීම

 ගිනි අවි භාවිත කළ බවට කිසිදු සාක්ෂියක් නඩු විභාගයේදී ඉදිරිපත් නොවූවද ඒ සඳහා දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම

 දුමින්ද සිල්වා මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු හෙවත් විත්ති වාචික නොසලකා හැරීම ඒ අතරවනවා.
අද දිනයේදී සිය දේශන අවසන් කරමින් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා නැවතත් ප්‍රකාශ කළේ අඩුපාඩු රැසක් ඇති නඩු තීන්දුව ලක්ෂ වාරයක් කියවූවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වරදකරුවෙක් කළේ මන්දැයි සොයාගත නොහැකි බවයි.
අභියාචනයේ වැඩිදුර විභාගය එළඹෙන 18 වැනිදා යළි කැඳවීමට නියමිතයි.