Gossips

භූමිතෙල් සහනාධාරය ජුනි මස පළමු වනදා සිට

භූමිතෙල් පරිභෝජනය කරන විදුලි සැපයුම නොමැති සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ නිවෙස්වලට සහ වතුකරයේ නිවෙස්වලට පැරණි මිලටම භූමිතෙල් ලබාදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අදාළ සමෘද්ධිලාභීන් සඳහා භූමිතෙල් සහනාධාරය සඳහා වන ප්‍රථම ගෙවීම ජුනි මස 01 වනදා සිට සිදුකරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
විදුලිය නොමැති සමෘද්ධිලාභී සාමාජිකයින්ගේ පවුල්වලට ඔවුන්ගේ සමෘද්ධි දීමනාවට අමතරව භූමිතෙල් සහනාධාරය ගෙවීමට හැකිවන පරිදි මහා භාණ්ඩාගාරය විසින් සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය වෙත අදාළ ප්‍රතිපාදන නිකුත් කරනු ඇති.
එමෙන්ම ධීවරයින් සඳහා ද අදාළ භූමිතෙල් සහනාධාරය ලබාදීමට කටයුතු කරන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ධීවරයින් පිරිසක් අද (12) පෙරවරුවේ තංගල්ල – හම්බන්තොට ප්‍රධාන මාර්ගය හුංගම – ගුරුපොකුණ ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරතවුණා.
එහිදී ඔවුන් කියා සිටියේ ඉන්ධන මිල වැඩි කිරීම ධීවර ජනතාවට දරාගත නොහැකි බවයි.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ නැංවුවත්, විදුලි ඒකකයක් සදහා අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණයක් ගෙන නොමැති බව විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.
කටුනායක ප්‍රදේශයේ කර්මාන්තශාලාවක නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වීමෙන් අනතුරුව ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, මාතර – දෙනිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් සේවකයින් පිරිසක් සහ පාරිභෝගිකයින් පිරිසක් අතර ඊයේ (12) උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවුණා.
මෙම පිරවුම්හලින් ඉන්ධන ලබා ගත් රථ වාහන රියදුරන් පිරිසක් තමන් ලබා ගත් ඩීසල් සාම්පල් සමඟ පිරවුම්හල අසලට පැමිණියේ ඊට භූමිතෙල් කවලම් කළ බවට පවසමින්.
පසුව පිරවුම්හලෙහි සේවකයින් පවසා ඇත්තේ තමන් ඒ බව නොදන්නා අතර බවුසර් මගින් රැගෙන එන ඉන්ධන මෙලෙස රථ වාහන සඳහා ලබා දෙන බවයි.
එහිදී පිරවුම් අසලට ප්‍රදේශවාසින් පිරිසක් ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා එම රියදුරන් පිරවුම්හල් සේවකයින්ට පවසා ඇති අතර එහිදී දෙපිරිස අතර ඇති වුයේ උණුසුම් තත්ත්වයක්.
පසුව රථ වාහන රියදුරන් මේ සම්බන්ධයෙන් වැලිගම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.