Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගෙන් නිවේදනයක්

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඇමරිකාවට යමින් සිටියේ තමන් හමුවිමට යැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මෙම අදහස් පලකර තිබුණා.
උපුටා ගැනීම
උදයංග වීරතුංග මහතාට මා හමුවීමට විශේෂ අවශ්‍යතාවක් ඇතැයි මම නොසිතමි. ඔහුගේ පෞද්ගලික ගමන් මට අදාළ නොවේ. ඒ කෙසේ වෙතත් උදයංග වීරතුංග මහතාගේ නම භාවිත කරමින් රජය විසින් දිගින් දිගටම කරගෙන යන මඩ ප්‍රචාරවලට පිලිතුරු දීමට ඇති හොඳම ක්‍රමය වීරතුංග මහතා සිය කැමත්තෙන්ම ලංකාවට ගොස් පොලීසියට අවශ්‍ය සාක්ෂි ලබා දී තමන්ට එරෙහිව ඇති චෝදනාවලට පිලිතුරු දීමයැයි මම කවදත් විශ්වාස කලෙමි. පසුගිය වසර 3 පුරා මා අපකීර්තියට පත්කිරීම සඳහා වත්මන් රජය විසින් විවිධ පරීක්ෂණ ආරම්භ කරන ලදී. රක්නා ලංකා ආරක්ෂක සේවය, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම, අවන්ගාර්ඩ් නාවුක සේවා වැනි පරීක්ෂණ රාශියකදී මවිසින් සාක්කි ලබා දී ඇති අතර ඉදිරියේදීද ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට නොපැකිලෙමි. මෙතෙක් මට විරුද්ධව නැගූ කිසිදු චෝදනාවක් ඔප්පු කර ගත නොහැකිවූ රජය තවදුරටත් අලුත් හේතු සොයමින් සිටිනා බව නම් පැහැදිලිය.
රටට හැමදාමත් අවංකව සේවය කළ මා බොරු ප්‍රචාර හෝ අනිසි පරීක්ෂණවලින් බිය ගැන්වීමට හැකියැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා සහ රජය සිතන්නේ නම් එය සිහිනයක් පමණි. එමෙන්ම ඔවුන් තවමත් වටහා ගෙන නැත්තේ රටේ ජනතාව අද දේශපාලනඥයින්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බවයි. රටට වැඩක් නොකර බොරුවෙන් හා මර්දනයයෙන් රට පාලනය කිරීමට උත්සාහ කරන රජයට ජනතාව සුදුසු අවස්ථාවේ පිලිතුරු දෙනු ඇත. මීට අමතරව මෙවර ලංකාවට ආපසු පැමිනි පසු රජයේ බොරු චෝදනා හා අසත්‍ය ප්‍රචාර පිලිබඳ වැඩිදුර පැහැදිලිකිරීමක් කරන්නට බලාපොරොත්තු වෙමි.
උපුටා ගැනීම අවසන්.