Gossips

වැලිගමදී අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා රිමාන්ඩ්

වැලිගම – පොල්අතුමෝදර පාලම විවෘත කිරීමේ අවස්ථාවේ අද ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසු අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනා, ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙම පාලම විවෘත කිරීමේ අවස්ථාවට තමන්ට ආරාධනා නොකළ බව පවසමින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් එම ස්ථානයේ නොසන්සුන් අයුරින් හැසිරුණා.
පාලම ඔවුන් විසින් විවෘත කිරීමෙන් අනතුරුවයි පොලීසිය මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ.
පාලම අද විවෘත කිරීමට නියමිතව තිබුණේ අමාත්‍ය සාගල රත්නායක ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්.
කෙසේ වෙතත්, අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පාලම විවෘත කිරීමට කටයුතු කර තිබුණා.
එහිදී ඔවුන් ප්‍රකාශ කළේ පොල්අතුමෝදර පාලම පසුගිය රජය සමයේ ප්‍රතිපාදන වෙන් කර ප්‍රතිසංස්කරණය කළ බවයි.
විරෝධතාව අතරතුර එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරින් සහ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණා.
හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ පසුව අමාත්‍ය සාගල රත්නායක ඇතුළු පිරිස විසින් ද පාලම යළි විවෘත කළ බවයි.