Gossips

16 කණ්ඩායමේ සිව්දෙනෙකු ඉවත් විය යුතු බව නිදහස් පක්ෂ තරුණ වෘත්තියවේදීන් කියයි

ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර සිටින ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිව් දෙනා එම ධුර යළි ජනාධිපතිවරයාට භාර දී ඉල්ලා අස්විය යුතු බව නිදහස් පක්ෂ තරුණ වෘත්තීයවේදී සංවිධානය ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි විධායක සභික නීතිඥ රජික කොඩිතුවක්කු මේ බව කියා සිටියා.
‘‘ඔය 16 දෙනාගේ ඉන්න එස්.බී.දිසානායක, තිලංග, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා වගේ ජනාධිපතිතුමගේ අනුකම්පාවෙන් කැමැත්ත ඇතිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔය මහා කතා කියනවට වඩා හොදයි ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ජනාධිපතිතුමාටම භාරදීලා නැවත ගිහිල්ලා ජනතාවත් එක්ක කතා කරලා කටයුතු කරන කාරණාව. ජනාධිපතිතුමා තමන්ගේ මතවාදයත් එක්ක ඉන්න පුලූවන් නියෝජිතයෝ යැයි විශ්වාස කරලා තමයි මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයන් ලබාදුන්නේ. තමන්ගේ සියලූ වරප්‍රසාද ඉටු කරගෙන නැවත පිට හරවලා, අතිගරු ජනාධිපතිතුමා සහ එතුමාට එරෙහිව යම් ක්‍රියාවලියක් වෙන බවයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා ගෞරවනීය මහත්වරුනේ හොදම වැඬේ මන්ත්‍රීධුරය භාරදීලා යන්න. ’’
අමාත්‍ය සරත් ෆොන්සේකා පසුගියදා ජනාධිපතිවරයාට එල්ල කළ චෝදනාවකටද ඔහු මෙහිදී පිළිතුරු ලබාදුන්නා.
‘‘සරත් ෆොන්සේකා මහත්තයා කිව්ව කාරණයක් තමයි අපි වැරදි පුද්ගලයෙක්ව ජනාධිපති කරා දෝ කියලා සැකයක් තියෙනවා කියලා. කණගාටු වෙනවා හේතුව අවුරුදු දෙකක් හිරේ හිටිය පුද්ගලයෙක්. ඔබ දන්නවා අපරාධ නීතිය අනුව මාස හයකට වැඩි පුද්ගලයෙක් දඩුවම් ලැබුනොත් ඔහුට මහජන ධුරයක් දරන්න බෑ. හැබැයි එතුමාට මතක නෑ. 2015 ජනාධිපතිතුමා, ජනපති වූ විගසම එතුමා සහ එතුමාගේ පුද්ගලික ලේකම්වරයා එතුමා සහ එතුමාගේ පුද්ගලික ලේකම්වරයා ඔය ජනාධිපති මන්දිරයේ උදේ ඉදන් හවස වෙනකම් කොච්චර වෙලා ඉදලද ඔය තමන්ට දුන්න දඩුවම ජනාධිපති සමාව යටතේ ඉවත් කර ගත්තේ. ඒ ජනාධිපති සමාව යටතේ ඉවත් කරගෙන තමයි, ගිහිල්ලා ඔය තරග කළේ. එහෙමත් කරලා තමයි ජනාධිපතිතුමාට කියන්නේ එතුමා සුදුසු නෑ කියන්නේ. ’’
මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් විපක්ෂයේ අසුන් ගැනීම පිළිබඳව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
‘‘අපිත් ඔය සෙංකෝලය තිබ්බ නැති වෙලාවට, එහෙම නැත්නම් අපි දෙපැත්තට ඇවිත් කරනවා. ඉතිං ඒක නිසා සෙංකෝලය තිබ්බට පස්සේ ගියා නම් තමයි හරියට ක්‍රොස් ඕවර් වුණා කියලා පාර්ලිමේන්තු සම්ප්‍රදායේ තියෙන්නේ. නමුත් එහෙම එකක් නෑ. ජනාධිපතිතුමත් එක්ක සෙංකෝලය ආවේ. ඊට කලින් මේ ගොල්ලෝ ගිහිං වාඩි වුණා. ඒ ගොල්ලෝ අපිත් එක්ක ඉන්නවා. අපේ මිත්‍රයෝ. මේක මං හිතන්නේ විවිධ සමාජ තීරුවල හැසිරවීමේ අතිගරු ජනාධිපතිතුමාගේ නව ක්‍රමවේදයක් මං දන්නේ නෑ.’’