Gossips

රිදීගම ඛේදවාචකයේ රහස් රැසක් එළියට – බිරිඳගේ මරණය ඝාතනයක් ?

රිදීගම – කිරිබත්ගල්ල ප්‍රදේශයේ නිවසකින් සියදිවි හානිකරගත් බවට සැකකෙරෙන අඹු සැමි යුවළකගේ සිරුරු ඊයේ (08) උදෑසන පොලිසිය විසින් සොයාගනු ලැබවා.
මේ වන විට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ සැමියා විසින් සිය බිරිඳ ගෙළ සිරකර නිවස තුළදී ඝාතනය කර ඇති බවටයි .
බිරිඳ ඝාතනය කිරීමන් අනතුරුව සැමියා ද නිවස ඉදිරිපිට ඇති ගසක ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම අපරාධයන් සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
පසුගිය 07 වනදා රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති අතර ඝාතනයට ලක්ව ඇති කාන්තාව දිනූෂා මනෝහාරි නමැති 29 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක්.
සියදිවි හානිකරගත් පුද්ගලයා අනිල් කුලතුංග නමැති 34 හැවිරිදි වියේ පසුවූ අයෙක් බව සඳහන්.
මොවුන් දෙදෙනා අතර නිතර ආරවුල් පැවති බවත් සිද්ධිය වූ දිනයේ රාත්‍රි 8 පමණ තම බෑණා දුරකථන ඇමතුමක් ලබා දෙමින් දියණිය නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස් සිටින බැවින් පැමිණ බලන ලෙස දන්වා සිටි බව ඝාතනයට ලක්වූ කාන්තාවගේ පියා පොලිසියට පවසා තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පොලිසියට පවසා ඇත්තේ තමන් ඔවුන්ගේ නිවසට පැමිණෙන විට බෑණා නිවස ඉදිරිපිට අලිපේර ගසෙහි වයරයක් ගැට ගසා ගෙළ වැලලාගෙන සිටිනු දුටු බවයි.
අනතුරුව නිවස තුළට ගොස් බලන විට දියණියද නිවෙස තුළ ඇද වැටී මියගොස් සිටි බවත් ඔහු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
මිය ගිය යුවළට දස හැවිරිදි දියණියක සහ සිව් හැවිරිදි නිවුන් පිරිමි දරුවන් දෙදෙනකු සිටින අතර සිද්ධිය වන අවස්ථාවේ එක් පිරිමි දරුවකු පමණක් නිවසේ සිට ඇති අතර අනෙක් දරුවන් දෙදෙනා ඔවුන්ගේ මිත්තණියගේ නිවසේ සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
රම්බඩගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිද්ධිය සම්බන්යෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව මෘත දේහයන් වැඩිදුර පරීක්ෂණය සඳහා කුරුණෑගල ශික්‍ෂණ රෝහලෙහි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය පිළිබඳව රම්බඩගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.