Gossips

බල අරගලයට අවසන් කළ යුතු බව පාර්ලිමේන්තුවේ නව සැසිය අමතමින් ජනපති කියයි

ජාතික ආණ්ඩුවේ මෙන්ම විපක්ෂය සහ ආණ්ඩුව අතර පවතින බල අරගලයද නැවත්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.
එමඟින් ජනතාවට පීඩා විඳීමට සිදුව ඇති බවයි 08 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කිරිමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.
සැසිවාරය ආරම්භ කිරිම උත්සවාකාරයෙන් සිදු වු අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකිර්ණය වෙත පැමිණියේ පොලිස් යතුරු පැදි සහ අශ්වාරෝහක කණ්ඩායම් පෙරටු කරගත් පෙරහරකින්.
ඊට පෙර කථානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයා එහි පැමිණ සිටියා. කථානායක කරූ ජයසුරිය විසින් ජනාධිපතිවරයා පිලිගැනිමෙන් අනතුරුව අචාර වෙඩි මුර 21ක් සහ හමුදා උත්තමාචාරයක් පැවත්වුනා.
පසුව වේත්‍රධාරි නිලධාරින් සහ කථානායකවරයා ජනාධිපතිවරයාව පාර්ලිමේන්තුවට තුලට කැදවා ගෙන ගිය අතර පාසල් සිසුවියන් පිරිසක් විසින් ජයමංගල ගාථා ගායනා කලේ සභා ගර්භයට පිවිසෙන ප්‍රධාන දොරටුව අසලදියි.
ජනාධිපතිවරයා සභා ගර්භයට පිවිසීමෙන් පසු කථානායක අසුනේ අසුන් ගත් අතර කථානායකවරයා අසුන්ගත්තේ ඊට පහලින් පනවා තිබු අසුනකයි.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමිමේ සහ නව සැසිවාරය කැදවිමේ ගැසට් නිවේදනය කියවිමෙන් පසුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතුවා.
කුමන විවේචන එල්ල කලද පසුගිය වසර තුන තුලදි අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීමට රජයට හැකිවු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
පලාත් සභා ශක්තිමත් කල යුතු බව ප්‍රකාශ කල ජනාධිපතිවරයා උතුර – නැගෙනහිර ජනතාවගේ නොසන්සුන්තාව ස්ථිර ලෙස සමනය කිරීම සඳහා කිසියම් දේශපාලන වැඩසටහනකට අවතීර්ණ විය යුතු බවද කියා සිටියා.
සභාවේ කටයුතු අවසන් වුණේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව හෙට පස්වරු 1 දක්වා කල් තබන බව දැනුම්දීමෙන් අනතුරුවයි.