Gossips

දහසයේ කණ්ඩායම සභා ගැබ මැදින් ගොස් විපක්ෂයේ අසුන් ගනී

ජනාධිපතිවරයා නව පාර්ලිමේන්තු සැසිවාරය ඇමතීමට පෙර ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දහසය දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තා.
පාර්ලිමේන්තුව රැස් කිරීමේ සීනුව නාද කිරීමත් සමඟම ඔවුන් විපක්ෂයේ අසුන් ගත් බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ.
ඔවුන් සභා ගැබ මැදින් පැමිණෙනවාත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉතා උණුසුම් අයුරින් පිළිගෙන තිබුණා.
මෙම මන්ත්‍රී කණ්ඩායමට විපක්ෂයේ අසුන් පෙළක් වෙන්වී තිබූ අතර, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, ජෝන් සෙනෙවිරත්න සහ සුමේධා ජී. ජයසේනට ඉදිරිපෙළ අසුන් හිමිවීම විශේෂත්වයක්.
පසුව ඔවුන් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණෙන විට පාර්ලිමේන්තු වටරවුමේදී ඔවුන් පිළිගැනීම සඳහා ආධාරකරුවන් විශේෂ පිළිගැනීමේ උත්සවයක්ද සංවිධාන කර තිබුණා.
මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් අද උදෑසන අමරපුර මහ නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් ප්‍රධාන එහි සංඝ සභාව හමුවුණා.
ඒ, ගල්කිස්ස – ධර්මපාලාරාම විහාරස්ථානයේදියි.
ඉන් අනතුරුව මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළ අතර, එහිදී සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගන්නා බවට, අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක අදහස් පළ කළා.
එහිදී ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි සමෘද්ධි බැංකුවේ අක්‍රමිකතාවක් සිදුව ඇතිනම් එහි වගකීම භාරගැනීමට තමන් සූදානම් බවයි.
එහෙත් එවැනි අක්‍රමිකතාවක් සිදුවී නොමැති බව සඳහන් කළ ඔහු ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසද සඳහන් කළා.