Gossips

පඬුවස්නුවර – රත්මුලුකන්දෙන් ඇද වැටී පාසල් සිසුවියක් ජීවිතය හැර යයි (ඡායාරූප)

පඬුවස්නුවර – රත්මුලුකන්දේ යතුරුපැදි චාරිකාවක නිරතවෙමින් සිටි පෙම්වතුන් යුවළක් නැගී යතුරුපැදියක් ප්‍රපාතයකින් පහළට ඇද වැටී අනතුරකට පත්ව තිබෙනවා.
අනතුරෙන් 17 හැවිරිදි පාසල් සිසුවියක් එම ස්ථානයේම මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිසුවියගේ මව්පියන් අනුරාධපුර ප්‍රදේශයේ වන්දනාගමන නිරතව සිටීම හේතුවෙන් ඇයගේ නිවසේ කිසිවෙක් නොසිටි බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ 18 හැවිරිදි තරුණයා සහ සිසුවිය, ඇයට අයත් යතුරුපැදියක නැගී තරුණයාගේ මිතුරන් දෙදෙනෙකු ද සමඟ රත්මුලුකන්ද පුරාණ විහාරය පිහිටි කඳු මුදුනට ගොස් ඇති බවයි මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
පසුව එම ස්ථානයේ සිට අධික බෑවුම් සහිත ප්‍රදේශය පසුකරගෙන යන අවස්ථාවේදී යුවළ ගමන්ගත් යතුරුපැදිය බෑවුමෙන් පහළට ඇද වැටී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම අනතුර සිදුවීම පෙම්වතුන් යුවළ සමඟ පැමිණි මිතුරන් දැක නොමැති අතර පෙම්වතුන් දෙදෙනාට සිදුවූ දේ පිළිබඳව සොයා බැලීමේදී ඔවුන් දෙදෙනා යතුරුපැදියත් සමඟ ප්‍රපාතයට ඇද වැටී සිටිනු දැක තිබෙනවා.
පසුව අනතුරට පත් දෙදෙනා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් සිසුවිය ජීවිතක්ෂයට පත්ව සිටි බව සඳහන්.
ඊයේ (07) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් බරපතල තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයා වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඡායාරූප – කුලියපිටිය, දිනේෂ් උපේන්ද්‍ර