Gossips

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් සංක්‍රමණිකයන් හමුවන්න, ශ්‍රී ලංකා මහ කොමසාරිස් අවසර ඉල්ලයි

මැලේසියානු මුහුදේ දී, එරට පොලීසියේ විශේෂ ඒකකය මගින් රඳවා ගනු ලැබූ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 131 දෙනා අතුරෙන් 127 දෙනෙකු සංක්‍රමණික නීතිය යටතේ අත්අඩංගුවට ගනු ලැබූ බව රාජකීය මැලේසියානු පොලීසිය සඳහන් කළා.
ඔවුන් මේ වන විට ජොහෝර් බාරු ප්‍රදේශයේ සංක්‍රමණික මධ්‍යස්ථානයක රඳවා සිටිනවා.
ඉතිරි ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා මිනිස් ජාවාරම වැළැක්වීමේ පනත් යටතේ අත්අඩංගුවට ගත් බවයි එමගින් කියා සිටියේ.
මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 131 දෙනෙකු මැලේසියානු මුහුදේදී අත්අඩංගුවට පත්වූයේ පසුගිය මැයි 01 වන දායි.
එහෙත් ඒ පිළිබද තොරතුරු මෙතෙක් අනාවරණ වූයේ නැහැ.
විදෙස් වාර්තා සඳහන් කළේ මොවුන් විශේෂයෙන් නවීකරණය කළ ඉන්ධන ප්‍රවාහන යාත්‍රාවක් ඒ සඳහා යොදාගෙන ඇති බවයි.
මැලේසියානු මුහුදේදී එරට පොලීසිය අත්අඩංගුවට ගත් එම ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් පිරිස පිරිමි පුද්ගලයන් 98 දෙනෙකු කාන්තාවන් 24 දෙනෙකු සහ ළමයින් 09 දෙනෙකුගෙන් සමන්විත බව සඳහන්.
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය බලා යාමට නියමිතව තිබූ යාත්‍රාවට ළඟාවීම සඳහා මෙම සංක්‍රමණිකයන් බෝට්ටුවකින් ප්‍රවාහනය කළ ඉන්දුනීසියානු සහ මැලේසියානු ජාතිකයන් හත්දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් මැලේසියානු බලධාරීන් සමඟ සමීප අන්දමින් කටයුතු කරන බව මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා.
මූලික තොරතුරුවලින් අනාවරණ වී ඇත්තේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් අතරින් 43 දෙනෙකුට එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම මගින් නිකුත් කළ සරණාගත හැඳුනුම්පත් තිබූ බවයි.