Gossips

අල්ලසට සහ දූ ෂණයට සමාවක් නැතැයි ජනපති කියයි

අල්ලස, දූෂණය, වංචාව, හොරකම, නාස්තිය සහ රාජ්‍ය දේපල අවභාවිතයට එරෙහිව කිසිදු භේදයකින් තොරව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුම් උත්සවයට පොළොන්නරුවේදී අද (05) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
‘‘ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කියලා කියන්නේ අමාත්‍යාංශ ලේකම් කෙනෙකුගේ තනතුරට සමානයි. ඔබ දැක්කා අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත්තා. පෙරේදා අත්අඩංගුවට ගත් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා විශ්‍රාමික රාජ්‍ය සේවා නිලධාරියෙක්. ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාර්ය මණ්ඩල ප්‍රධානී. මාස ගාණකට කලින් දූෂණ චෝදනා මත අත්අඩංගුවට අරගෙන අධිකරණයෙන් ඇප ලබාගෙන ඉන්නවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී. අත් අඩංගුවට පත් මගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සේවයට ඇවිල්ලා මාසයක් නැහැ. ජනාධිපතිවරු තුන්දෙනාගේම මේ තනතුරේ හිටපු තුන්දෙනාම සිරභාරයේ. මේක තමයි ඇත්ත තත්ත්වය. ජනතාවගේ වෛරයට, ජනතාවගේ ද්වේෂයට ජනතාවගේ පිළිකුළට ලක්වන ආකාරයට දේශපාලනඥයා සහ රාජ්‍ය නිලධාරියා කිසි විටෙකත් වැඩ නොකළ යුතුයි. මම ඇමතිවරයෙක් කාලෙත් ජනාධිපතිධුරයේ මේ අවුරුදු තුන හමාරෙත් මම ඉතාම පැහැදිලිව අල්ලස, දූෂණය, වංචාව, හොරකම, නාස්තිය, රාජ්‍ය දේපොළ අවභාවිතය කිසිදු භේදයකින් තොරව ඒ පිළිබඳව තීන්දු තීරණ අරගෙන තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවාවේ දූෂණ සොයන්න කොමිසමක් පත් කළා. ඒ කොමිසමත් හෙට අනිද්දා බොහෝ වැදගත් තොරතුරු රටට හෙලිකරාවි. කිසිදු කෙනෙකුට ඒ සඳහා ලිහිලක් නොදිය යුතුයි. ඕනෑම අංශයක දූෂණය සහ වංචාව සම්බන්ධයෙන් තත්ත්වයන් වළක්වන්න, මර්දනය කරන්න, මුලිනුපුටා දමන්න අපි රජයක් විදිහට ගත හැකි ගත යුතු සෑම තීන්දු තීරණයක්ම ගන්නවා. භේදයකින් තොරව කිසිම කෙනෙකුට සමාවක් නැතුව නීතිය හරියට ක්‍රියාත්මක කරනවා. අද සිගරට් අලෙවිය පහත වැටිලා තියෙනවා. මද්‍යසාර අලෙවිය අඩුවෙලා තියෙනවා. නමුත් මට පෙරේදා ලැබුණු අලුත්ම වාර්තාව ඉතාම බරපතළයි මත්කුඩු, මත්පෙතිවලට විගවිද්‍යාල ශිෂ්‍යයින් පුදුමාකාර විදිහට බිලිවෙමින් පවතිනවා.