Gossips

අතුරුදන්ව තිබී හමුවූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සම්මානය තවදුරටත් පොලිස් භාරයේ

හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අතුරුදන්වූ යාවජීව ප්‍රණාම සම්මානය පොලීසිය සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අද උදෑසන කොල්ලූපිටියේදී සුඛෝපභෝගී මගී බස් රථයක තිබී මෙම සම්මානය සොයාගත් බවයි.
මාර්ග අංක 177 – කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය වන බස් රථයක භාණ්ඩ රඳවනයක තිබී මෙම සම්මානය හමුවී තිබෙනවා.
පසුව එම සම්මානය කොල්ලූපිටිය පොලීසිය විසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ හමුවට ඉදිරිපත් කර ඇති අතර, එහිදී එය අදාළ යාවජීව ප්‍රණාම සම්මානය බවට ඇය හඳුනාගෙන ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, ඉදිරි කටයුතු සඳහා එම පදක්කම තවදුරටත් පොලිස් භාරයේ පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
එමෙන්ම මෙම සම්මානය බස් රථය තුළට පැමිණියේ කෙසේ ද යන්න පිළිබද සෙවීම සඳහා වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය ආරම්භ කර තිබෙනවා.
මෙම යාවජීව ප්‍රණාම සම්මානය අතුරුදන්වීම පිළිබඳව පුද්ගලයන් 15 දෙනෙකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළා.
එහි උසස් නිළධාරියෙකු සඳහන් කළේ අවමංගල්‍ය දිනයේදී පටිගත කෙරුණු වීඩියෝ දර්ශන මේ වන විටත් පරීක්ෂාවට ලක් කළ බවයි.
තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය පසුගිය 2 වන දා උදෑසන නිදහස් චතුරශ්‍රය කරා රැගෙන යාමට ප්‍රථම නිවසේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මෙම සම්මානය අතුරුදන්ව ඇති බවටයි පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1965 වසරේ ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් දිල්ලි අන්තර්ජාතික සිනමා උළලේදී රණ මයුර සම්මානය හිමිකර ගත් අතර, යාවජීව ප්‍රණාම සම්මානය හිමිවූයේ ඉන් වසර 35 කට පසුවයි.