Gossips

චීනයට සහ රුසියාවට මුහුණ දෙන්න, ඇමරිකාවේ ආරක්ෂක වියදම් වැඩි කෙරේ

චීනයෙන් සහ රුසියාවෙන් එල්ල වන ආරක්ෂක අවදානමට මුහුණදීම සඳහා සිය ආරක්ෂක වියදම් ඩොලර් බිලියන 717 දක්වා ඉහළ නැංවීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා.
එක්සත් ජනපද මහජන නියෝජිත සභාවේ සන්නද්ධ සේවා කමිටුව ඒ පිළිබදව ඉදිරි සතියේදී විවාදයක් පවත්වන අතර, එහිදී අදාළ වියදම් සිදුකළ යුතු ආකාරය පිළිබදව තීරණයකට එළඹෙනු ඇති.
ඇමරිකාවේ ජාතික ආරක්ෂක වියදම් මෙලෙස වාර්ෂිකව ඇගයීමට ලක් කරන අතර, මෙවර විශේෂ අවධානය යොමු වන්නේ රුසියානු සහ චීන සන්නද්ධ බලය හා තරඟ වැදීමටයි.
එහිදී තුර්කිය වෙත ආයුධ විකිණීම තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා.
ඇමරිකානු ආරක්ෂක අයවැය සැකසීමේදී හමුදා සාමාජිකයන්ගේ වැටුප්වල සිට නවීකරණය කළ යුතු සහ මිලදී ගත යුතු යුද නෞකා සහ ප්‍රහාරක යාත්‍රා පිළිබද තීරණය කෙරෙන අතර, රුසියාවට පැනවෙන සම්බාධක පිළිබඳව ද සැලකිල්ලට ගැනීමට නියමිතයි.
මේ අතර, ඇමරිකානු සන්නද්ධ හමුදා සාමාජිකයන්ට චීනයේ නිෂ්පාදිත ජනප්‍රිය දුරකථන සන්නාම මිලදී ගැනීම වැළැක්වීමට ද දැනටමත් නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන්.