Gossips

කොදෙව් ක්‍රිකට් දිවියේ විශේෂ අවස්ථාවකට ශ්‍රී ලංකාවත් එක්වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය මව් රටේ දී පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගය පැවැත්වීමට සුදානම් වනවා.
විශේෂත්වයක් වන්නේ ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාව වීමයි.
ලබන ජුනි මස 23 වනදා මෙම තරගය පැවැත්වෙන්නේ බාර්බඩෝස්හි කන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදීයි.
එමෙන්ම මෙම තරගය දීර්ඝ කාලයකට පසු ශ්‍රී ලංකා කණ්ඩායම කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයකට සහභාගී වන අවස්ථාව ලෙසට ද ඉතිහාසයට එක්වනු ඇති.
එමෙන්ම වසර 10 කට පමණ පසු ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයේ තරග සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙයයි.
අවසන් වරට 2008 වසරේ මාර්තු මාසයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව්වන් අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එකට එකක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුනා.
එම තරගාවලියේ විශේෂත්වයක් වුයේ ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් රාජ්‍යයේදී ලැබු පළමු ටෙස්ට් තරග ජය ද එහිදී වාර්තා කිරීමයි.
දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 121 ක ජයක් හිමිවුනා.
මෙවර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ටෙස්ට් තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.
පළමු තරගය ජුනි 6 වනදා පැවැත්වෙන්නේ ටි‍්‍රනිඩෑඩ්හි ක්වීන්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාගණයේදීයි.
දෙවැන්න ජුනි 14 වනදා ශාන්ත ලුසියා හි ඩැරන් සැමි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
අවසන් ටෙස්ට් තරගයයි දිවා රාත්‍රී තරගයක් ලෙසට ජුනි 23 වනදා කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ.
මේ අතර දිවා රාත්‍රී ටෙස්ට් තරග හඳුන්වාදීමෙන් පසු මේ දක්වා තරග 8 ක් පවත්වා තිබෙනවා.
පළමුවැන්න පැවැත්වුනේ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර 2015 නොවැම්බර් මාසයේදීයි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දිවා රාත්‍රී ටෙස්ට් තරග දෙකකට සහභාගී වී තිබෙනවා.
එහෙත් ඉන් එකක් හෝ ජය ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුනේ නැහැ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම 2017 ඔක්තෝම්බර් මාසයේ පකිස්ථානය සමග පැවති තරගයෙන් ලකුණු 68 ක ජයක් ලැබුවා.