Gossips

ඉදිරි දිනවල ප්‍රදේශ කිහිපයකට තද වැසි

ඉදිරි දින කිහිපය තුල දකුණ, මධ්‍යම, සබරගමුව, උතුරු මැද පළාත්වලට සහ කලුතර දිස්ත්‍රික්කයට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ.
නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අද සවස 1.30 වන විට දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇති බවයි.
මෙම කැළඹිලි ස්වභාවය ඉදිරි දින දෙක තුල ද පවතිනු ඇතැයි බලාපොරොත්තු වනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ද පියවර ගන්නා ලෙසට ජනතාවට උපදෙස් දී තිබෙනවා.
මේ අතර දිවයිනට බලපාන උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ පොළොන්නරුව, අනුරාධපුර, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.
මේ අතර, පවතින උණුසුම් කාලගුණ තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්නගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ වැඩි වශයෙන් ජලය පානය කිරීම මෙන්ම තද පැහැති ඇඳුම් ඇදීමෙන් වැළකීමෙන් මෙම තත්ත්වය මඟ හරවා ගත හැකි බවයි.
මේ අතර හෙට (05) දිනයේ දී වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවල උණුසුම් කාලගුණය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.