Gossips

ආචාර්ය ලෙස්ටර්ගේ සම්මානයේ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශයට

හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිවසින් අතුරුදන්වූ යාවජීව ප්‍රණාම සම්මානය පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය ද අනුයුක්ත කර තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ සිදුකරන අදාළ විමර්ශන පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් මේ වනවිට සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන ඔස්සේ සිදුකරන පරීක්ෂණ ද ඊයේ ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත්, සැකකරුවන් සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත තොරතුරක් අනාවරණ වී නොමැති බැවින් ඉදිරි පරීක්ෂණ වලදී ඔවුන් පිළිබඳව කිසියම් තොරතුරක් හෙළිදරව් වනු ඇති බවටයි පොලීසියේ විශ්වාසය වන්නේ.
හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු සිදු කෙරුණු දිනයේදී නිවසින් අතුරුදන්වූ යාවජීව ප්‍රණාම සම්මානය කිසිවෙකු විසින් සොරාගෙන ගොස් ඇත්නම් එය නැවත ලබාදෙන ලෙස කලාකරුවන් ද ඉල්ලීමක් කළා.
අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට හිමිවී තිබූ මෙම සම්මානය නිවසින් අතුරුදන්වීම සම්බන්ධයෙන් විධිමත් හා කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ සහ නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ද ඊයේ උපදෙස් ලබාදී තිබුණා.
තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය පෙරේදා උදෑසන නිදහස් චතුරශ්‍රය කරා රැගෙන යාමට ප්‍රථම නිවසේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මෙම සම්මානය අතුරුදන්ව ඇති බවටයි පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1965 වසරේ ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් දිල්ලි අන්තර්ජාතික සිනමා උළලේදී රණ මයුර සම්මානය හිමිකර ගත් අතර, යාවජීව ප්‍රණාම සම්මානය හිමිවූයේ ඉන් වසර 35 කට පසුවයි.