Gossips

දළපූට්ටුවා ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ගල්ගමුවේ දළ පූට්ටුවාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 7 දෙනා මේ මස 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඊට අදාළ නඩුව මහව අතිරේක මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි හමුවේ අද විභාගයට ගැනුනු අවස්ථාවේදියි.
මෙම නඩුවට අදාළව පැමිණිලි සහ විත්ති පාර්ශවයේ නීතීඥයින් අධිකරණයට ඉදිරිපත් කළ දේශන සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන්ට ඇප ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර විල්පත්තුව – ජාතික වනෝද්‍යානයේදී ඝාතනයට ලක්වූ කල්ලාරු හස්තියාගේ ශරීර කොටස් සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සහ ඇත් දළ පරික්ෂාව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද සිදු කෙරුණා.
ඒ, බොරැල්ල වනජීවී සංරක්ෂණ කාර්යාලයේ විශේෂඥ වෛද්‍ය තාරක ප්‍රසාද් විසින්.
අනතුරුව ඔහු ස්ථානීය පරීක්ෂාවක් සඳහා සිලාවතුර මොල්ලිකුලම් ප්‍රදේශයට බෝට්ටුවකින් පිටත්ව ගියේ පොලීසියද සමගයි.